සෞඛ්‍ය

වෛද්‍ය ජයරුවන් බණ්ඩාරට නව තනතුරක් ලබා දෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 05.20ට)

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ, වෛද්‍ය ජයරුවන් බණ්ඩාර, ඔක්තෝම්බර් 12 දින සිට සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත් කර තිබෙනවා. එසේම, ඊට අමතරව තමන් වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂධූරයේ ද කටයුතු කරන බව වෛද්‍ය ජයරුවන් බණ්ඩාර කියා සිටියා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට ඔක්තෝම්බර් 12 දින එක්වෙමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මේ බව තහවුරු කළා.

ඔක්තෝම්බර් 05 දිනැති ලිපියකින් ඔහුව වෛද්‍ය පර්යේෂණ ආයතයේ අධ්‍යක්ෂ ධූරයෙන් ඉවත් කර තිබුණා. සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ඔහු එම ධූරය දැරුවේ වැඩ බැලීමේ පදනම මත බවයි. ඒ අනුව, එම ධූරයට සුදුසුකම් ලබා සිටි පුද්ගලයා ඊට පත් කළ බවක් සෞඛ්‍ය අමාත්‍යංශය කියා සිටියා.

එහෙත්, පසුගිය දිනෙක යූටියුබ් නාලිකාවක සංවාදයකට එක්වෙමින් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර සඳහන් කළේ තමන් ඉවත් කිරීම, හොඳින් රාජකාරි කිරීමට ලැබුණු ත්‍යාගයක් බවයි. කණගාටුදායක ස්වරූපයකින් කතා කළ ඔහු පවසා සිටියේ තමන් කිසිඳු තනතුරක නොමැති සාමාන්‍ය වෛද්‍යවරයෙකු බවයි.

එහෙත් නව වගකීම භාරදුන් පසු ඔහු පෙර රාජකාරි කළ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂධූරයේ ද කටයුතු කරනු ලබන බව වාර්තා වේ.

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර ධූරයෙන් ඉවතට

Rivira FB Group Rivira Youtube
To Top