,
Covid-19

කටුුුුුුනායක නිදහස් වෙළඳ කලාපයෙන් තවත් කොරෝනා ආසාදිතයින් 22ක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 08.09ට)

කටුනායක නිදහස් වෙළඳ කලාපයෙන් වාර්තා වූ කොරෝනා වෛරසය ආසාදිත වු සේවකයින් සංඛ්‍යාව ඔක්තෝම්බර් 12 වැනි දින සවස 5.30 වන විට 39ක් ලෙස වාර්තා වේ.

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය මිගාර ඈපා සඳහන් කළේ, ඔක්තෝම්බර් 12 වන දින තවත් වෛරසය ආසාදිත වූ සේවකයින් 22ක් වාර්තා වූ බවයි. එමෙන්ම, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවකයින් 1119 දෙනෙකුට එදින පී.සී.ආර්. පරීක්ෂණ සිදු කළ බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කරයි.

පසුගිය ඔක්තෝම්බර් 09 වන දිනයේදී කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවකයින් තිදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට පළමුවෙන් වාර්තා වූ අතර ඔක්තෝම්බර් 10 දිනයේදී ආසාදිතයින් 11 දෙනෙකු වාර්තා විය.

පසුව ඔක්තෝම්බර් 11 වන දිනයේ දී නෙක්ස්ට් නැමැති ඇගලුම් කම්හලේ සේවකයින් දෙදෙනෙකු සහ චීප් වේ නම් ඇගළුම් කර්මාන්තශාලාවේ එක් සේවකයෙකු හට කොවිඩ් – 19 වෛරසය ආසාදිත බවට තහවුරු විය.

නමුත්, පවතින තත්ත්වය හේතුවෙන් කටුනායක නිදහස් වෙළඳ කලාපය වසා නොදමන බව කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හල් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධම්මික ප්‍රනාන්දු සඳහන් කරයි.

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පවතින කම්හල් තුනකින් මේ වන විට ආසාදිතයින් හමු වී ඇති අතර ඒ අතරින් එක් ආසාදිතයෙක් පමණක් වාර්තා වූ කම්හල ඔක්තෝම්බර් 13 වන දින විවෘත කිරීමට බලාපොරොත්තු වන බවත් අනෙක් කම්හල් දෙක තවත් දින කිහිපයක් වසා දමන බවත් ඔහු වැඩිදුරටත් පැවසුවා.

කෙසේවෙතත්, කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පවතින කම්හල් 87ක සේවය කරන සේවක සේවිකාවන් 36,000ක් අතරින් සේවයට පැමිණෙන්නේ 8000ක් පමණ වූ සංඛ්‍යාවක් බවයි ධම්මික ප්‍රනාන්දු සඳහන් කරන්නේ. එසේම, තවද, ගම්පහ පොලිස් කොට්ඨාස කිහිපයකට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබීමත් හේතුවෙන් බොහෝ දෙනාට සේවයට පැමිණිය නොහැකි වී ඇතැයි ද ඔහු පවසයි.

මේ සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 12 වන දින කම්කරු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවේ දී අමාත්‍යවරයා අවධාරණය කළේ, සාමාන්‍ය පරිදි රට පවත්වාගෙන යායුතු බව යැයි ද ඔහු පැවසුවා. එබැවින්, සීමිත සේවක සංඛ්‍යාවෙන් හෝ කම්හල් හැකි ප්‍රමාණයෙන් ක්‍රියාත්මක කරන බවත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කම්හල් පවත්වාගෙන යන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top