දේශීය පුවත්

මාව අත්අඩංගුවට ගන්න කීම ජාතිවාදියි, දේශපාලනිකයි – රියාජ් බදුර්දීන් ජනපතිට කියයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 09.53ට)

හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ සොයුරු, පාස්කු සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන නිදහස් කළ රියාජ් බදුර්දීන් ජනාධිපතිවරයා වෙත ඔක්තෝම්බර් 12 දිනැතිව ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපියෙන් ඔහු පවසා ඇත්තේ තමා අත්අඩංගුවට ගන්නැයි බලකරමින් දේශපාලන ක්‍රියාකාරීන් ප්‍රකාශ නිකුත් කිරීම ජාතිවාදී ගැටුම් හා දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් සිදුකරන බවයි.

එම සම්පූර්ණ ලිපිය පහතින්.

අතිගරු ජනාධිපතිතුමනි,

ඇතැම් දේශපාලන ක්‍රියාකාරීන් විසින් පදනම් විරහිතව මා ත්‍රස්තවාදියෙකු ලෙස ප්‍රකාශ කිරීම සහ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මා නැවත අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් සිටී. නමුත් නීතිවිරෝධී ක්‍රියාවකට මා සම්බන්ධ බවට එල්ල වී ඇති චෝදනා රහස් පොලිසිය විසින් දැඩි ලෙස විමර්ශනය කර ඇති අතර එම ප්‍රකාශ කිසිදු පදනමක් නොමැති ඒවා බව සොයාගෙන ඇති බව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. මේ අවස්ථාවේ යළි ජාතිවාදී ගැටුම් සහ දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන රජයේ සහ විපක්ෂයේ ඇතැම් පාර්ශ්වයන් විසින් කරනු ලබන මෙවැනි අසත්‍ය චෝදනා අතිගරු ජනාධිපතිතුමා විසින් පිළිනොගනු ඇතැයි මා විශ්වාස කරමි.

මම හිටපු කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයෙක්මි. පසුගිය 2020 අප්‍රේල් 14 වන දින අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පුත්තලම ප්‍රදේශයේ පිහිටි මගේ නිවසේදී මා අත්අඩංගුවට ගනු ලැබුවේ ඉන්ෂාෆ් අහමඩ් සමඟ දුරකථන සංවාදවල යෙදී ඇති බවට වූ චෝදනාව මත බව ඔබතුමා දැනුවත් බව මාගේ විශ්වාසයයි. ඉන් පසුව මාස පහහමාරකට ආසන්න කාලයක් මා එහි රඳවාගෙන සිටි අතර එහිදී රහස් පොලිසිය විසින් මා සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක් කරන ලදී. එම විමර්ශන වලදී කොළඹ පිහිටි මගේ නිවස, පුත්තලම ප්‍රදේශයේ පිහිටි මගේ බිරිඳගේ දෙමව්පියන්ට අයත් නිවස, තවත් ප්‍රදේශ කිහිපයක මගේ මිතුරන්ගේ නිවාස සහ මන්නාරමේ මගේ ඥාතීන්ගේ නිවාස සොයා බැලීය. ඔවුන් මගේ බැංකු ගිණුම් සහ මගේ ව්‍යාපාර ගනුදෙනු ද දැඩි පරීක්ෂාවට ලක් කර තිබිණි. මගේ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණකය රහස් පොලිසිය භාරයට ගෙන හොඳින් පරීක්ෂා කර බැලීය.

පෞද්ගලික හා ව්‍යාපාරික යන දෙඅංශයේම මාගේ සියලුම දුරකථන සංවාදයන් ද තරයේ විමර්ශනය කර කිසිදු ත්‍රස්ත ක්‍රියාකාරකමක් සමඟ මා සම්බන්ධ බවට කිසිදු තොරතුරක් හෝ සාක්‍ෂියක් නොමැති බවට රහස් පොලිසිය විසින් නිගමනය කර තිබිණි.

එකල, ඉන්ෂාෆ් අහමඩ් සමඟ මා සම්බන්ධතා පවත්වා තිබුණේ ඔහුගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් එම අවස්ථාවේ මෙරට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු සහ කොළඹ වෙළෙඳ සංගමයේ සභාපතිවරයා වූ බැවිනි. එසේම ඉන්ෂාෆ් අහමඩ් යන අයව මා දැන හඳුනා ගැනීමට ස්වාභාවික කරුණ වුයේ ඔහු මන්නාරමේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන එස්.කේ.පී. අලව්දීන්ගේ දියණියක සමඟ ඔහු විවාහ වී සිටි නිසාය. මගේ නිර්දෝෂීභාවය පිළිබඳව සෑහීමකට පත්වීමෙන් පසුව, රහස් පොලිසිය විසින් 2019.09.29 දින මාව අත්අඩංගුවෙන් නිදහස් කළේය.

මහේස්ත්‍රාත්වරයා හමුවේ මා ඉදිරිපත් නොකොට රහස් පොලිසිය මාව අත්අඩංගුවෙන් නිදහස් කළ බවට ඇතුම් පාර්ශව චෝදනා කළද එහි කිසිදු සත්‍යතාවයක් නොමැත. මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ අත්අඩංගුවේ පසුවන පුද්ගලයින් රඳවා තබා ගැනීමට හෝ වරෙන්තු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති බවට තහවුරු වූ පසු රහස් පොලිසියට තමන් නිදහස් කළ හැකි බවය. ඒ අනුව මහේස්ත්‍රාත්වරයාගේ එම තීන්දුවේ පිටපතක් ද ඔබතුමාගේ අවධානය සඳහා X ලෙස සලකුණු කර මේ සමග ඉදිරිපත් කරමි.

කෙසේ වෙතත්, දේශපාලන හා ජාතිවාදී ගැටුම් ඇති කරන ඇතැම් පුද්ගලයින්, මා සම්බන්ධයෙන් රහස් පොලිසිය කටයුතු කළ ආකාරය සැක සහිත බව හැඟවීමටත්, කිසිදු පදනමක් නොමැතිව මා ත්‍රස්තවාදියෙකු ලෙස හඳුන්වමින් මා හට නින්දා කිරීමටත් උත්සාහ කරයි. එවැනිම වූ මත දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු රහස් පොලිසියේ ක්‍රියාකලාපය අසාධාරණ ලෙස අභියෝගයට ලක් කරමින් මා නැවත අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඔබතුමා වෙත ලිපියක් යොමු කර ඇති බව මා හට දැනගන්නට ලැබිණි.

මෙම තත්වය තුළ මා හා සමාන චෝදනාවක් මත එකම දිනයක අත්අඩංගුවට ගත් පුද්ගලයින් හත් දෙනාගෙන් සිව්දෙනෙකු මා නිදහස් කිරීමට පෙර නිදහස් කර ඇති බව අතිගරු ජනාධිපතිතුමාගේ අවධානයට යොමු කිරීමට කැමැත්තෙමි. ඒ අතර සිටි පුද්ගලයින්ගෙන්, මුබීන් මහතා සහ අමානුල්ලා මහතා අධිකරණයේ කිසිදු මැදිහත්වීමකින් තොරව නිදහස් කරන ලද අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් හුදෙක්ම මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව කටයුතු කළ ආකාරය පැහැදිලි කිරීමට ඒ සම්බන්ධ තොරතුරුද මෙහි අමුණා ඇත. ඇතුම් පාර්ශව මා නැවත අත්අඩංගුවට ගන්නා ලෙස කරන ඉල්ලීම් දේශපාලන හා ජාතිවාදී හේතූන් මත සකස් කර ඇති බව නිහතමානීව ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි. එවැනි පදනම් විරහිත ප්‍රකාශ වලින් අතිගරු ජනාධිපතිතුමාහට බලපෑම් කළ නොහැකි බව මාගේ විශ්වාසයි.

– රියාජ් බදුර්දීන්

  1. බදුර්දීන් ‘නිදහස් කිරීමේ කළු පැල්ලම’ ජාලිය සේනාරත්න පිටින් යයි?
  2. “රියාජ් බදුර්දීන් වහාම අත්අඩංගුවට ගන්න”, නිදහස් කිරීම ගැන ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන් 100ක් පරීක්ෂණයක් ඉල්ලයි
  3. රිෂාඩ් හමුවීම ගැන චමල්ගෙන් ඡන්දදායකයින්ට පැහැදිලි කිරීමක්
  4. 20 වන සංශෝධනයට බදුර්දීන් සහය දෙයි ද?
  5. නඩු නැතිවම රියාජ් බදුර්දීන් නිදහස්
Rivira FB Group Rivira Youtube
To Top