ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

19 ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කළා, 20 ඒකට අභියෝගයක් – අමරපුර-රාමඤ්ඤ මහ සංඝ සභාව

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 12 පස්වරු 10.38ට)

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කිරීමක් සිදුවන බව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් අමරපුර-රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව පවසනවා. එසේම 19 වන ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදයට සාධනීය එකතු කිරීමක් බව ද එම නිවේදනයෙන් එම සංඝ සභාව අවධාරණය කර තිබෙනවා.

ඔක්තෝම්බර් 12 දිනැති නිවේදනයෙන් එම සංඝ සභාව වැඩිදුරටත් කියා සිටින්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය කිසිඳු අයුරකින් අවශ්‍ය නොවන බවයි.

එම නිවේදනය සම්පූර්ණයෙන්ම පහතින් කියවන්න.

මානව සමාජයේ ඉදිරිගාමී පියවරක් වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහි වන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක‍්‍රීය කළ යුතුයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය සුරැකෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයට කටයුතු කළ යුතුයි.

මේ මොහොතේ රට තුල ආන්දෝලනයට තුඩුදෙමින් තිබෙන 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව අමරපුර-රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව සාකච්ඡාවට භාජනය කළ අතර, එය මානව සමාජයේ දියුණු ලක්‍ෂණයක් වන මිනිස් චින්තනයේ නිදහසටත්, ක‍්‍රියාකාරිත්වයටත් බරපතල ලෙස බාධා කරන නොදියුණු ගෝත‍්‍රික සමාජයකට ආපසු ගමන් කරන නීති සම්මතයක් බව තහවුරු වූ හෙයින්, එය සම්මත නොකරන ලෙස ආණ්ඩුවට අවධාරණය කිරීමට අප සංඝ සභාව තීරණයට කොට ඇත.

මේ මොහොතේ ලෝකයේ බොහොමයක් රාජ්‍ය අනුගමනය කරන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික අංග තුන වන විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකිනෙකට පරීක්‍ෂාවට ලක්වෙමින් තුලනය පවත්වාගත යුතුය යන්න සම්මත පිළිගැනීමයි. සංවරණ හා තුලන ක‍්‍රියාවලිය ලෙස එය පිළිගනු ලබන අතර 1978 නව ජනරජ ව්‍යවස්ථාව තුළින් ජේ.ආර් ජයවර්ධන මහතා එකී සංවර්ණ හා තුලන කි‍්‍රයාවලිය අහෝසි කර විධායකයට අසීමාන්තික බලයක් කේන්ද්‍රගත කර ගන්නා ලදි. ඒ මොහොතේ පටන් ම එකී බලයේ අහිතකර තත්වය පිළිබඳව විශාල සංවාදයක් පැණනැගුණු අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස වසර 37 කට පසු 2015 වසරේ දී ප‍්‍රජාතන්ත‍්‍රවාදයට සාධනීය එකතු කිරීමක් ලෙස 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන ලදි. එමගින් සිදුවූයේ ජයවර්ධන මහතා විසින් අහෝසිකර තිබූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අදාල සංවරණ හා තුලන ක‍්‍රියාවලිය බලාත්මක කිරීමයි. 20 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් සිදුකරනු ලබන්නේ යලිත් වතාවක් සංවරණ හා තුලන ක‍්‍රියාවලිය අහෝසි කර ප‍්‍රජාතත්ත‍්‍රවාදී පැවැත්ම අභියෝගයට ලක් කිරීමයි. මෙහි කෙලවර නිසැක වශයෙන් ම සටහන් වනු ඇත්තේ ඒකාධිපති වාදයයි. අත්තනෝමතික බලාධිකාරියයි.

20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමට අදාලව ආණ්ඩුව පවසන කරුණු වන්නේ ඊට පෙර සම්මත කර තිබූ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය රටේ ඉදිරි ගමනට කර ඇති බාධා ඉවත් කිරීමට බවකි. එය එසේම ද යන්න ගැඹුරින් පැහැදිලි කරගත යුතුව තිබේ. 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසා රටේ යහ පැවැත්මට මෙන්ම ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය තහවුරු කිරීමට හේතු වූ කරුණු කිහිපයකි.

  1. 18 වන ව්‍යස්ථා සංශෝධනයෙන් සම්මත කර තිබූ අසීමාන්තිකව ජනාධිපති වරයාගේ ධූර දැරීමේ වාර ගණන 19 වන ව්‍යවස්ථාවේ 31 (2) අනුව දෙවතාවක් කිරීම.
  2. 19 වන ව්‍යවස්ථාවේ 91 (ඇ) (XIII) අනුව ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුර හෝ ජනාධිපති ධූර දැරීම අහෝසි කිරීම.
  3. 41 (අ) ව්‍යවස්ථාව අනුව ඉහල තනතුරු සඳහා රාජ්‍ය නිලධාරීන් පත්කිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාදායක සභාවක් පිහිටුවීම.
  4. 41 (ආ) (VI) ව්‍යවස්ථාව අනුව ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම.
  5. 41 (ඇ) ව්‍යස්ථාව අනුව උපරිමාධිකරණ විනිසුරුවරුන් පත්කිරීමේ දී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථා සභාවේ නිර්දේශ ලබා ගැනීම.

ඉහත සඳහන් කරුණු වලින් පමණක් වූවද තහවුරු වන්නේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුව සඳහන් කරන ආකාරයට අගතිගාමී එකක් නොවන බවයි. මෙහි සම්පූර්ණ නොවූ සමහර කරුණු කාරනා හේතුවෙන් තාක්‍ෂණික දුබලතා ඇති බවට නීති විශාරදයන් පෙන්වා දී තිබේ. ඒ අනුව කළ යුතුව ඇත්තේ 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ තාක්‍ෂණික දුබලතා ඇත්නම් එකී දෝෂ මගහරවා ගැනීමට නීති සම්පාදනය කරගත යුතු වුවද 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් කර ඇත්තේ රටේ ඉදිරි ගමනට සාධනීය ලක්‍ෂණ එකතු කිරීම නොව රට ආපස්සට ගමන් කරවන නිශේධනීය සාධක එකතු කිරීමකි.

  1. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 148 වන ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මුල්‍ය පිළිබඳ පූර්ණ බලය පාර්ලිමේන්තුව සතු වුවද 20 වන සංශෝධනයෙන් ජනාධිපති කාර්යාලය හා අගමැතිකාර්යාලය විගණනයෙන් ඉවත්කර ඇත.
    එමගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 3 සහ 4 තුලින් තහවුරු කර ඇති පරමාධිපති බලය ජනතාව සතු වන්නේය යන්න අහෝසි වේ.
  2. 20 වන සංශෝධනය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44, 45, 47 ව්‍යවස්ථා කියවීමට අනුව පර්ලිමේන්තු මන්ත‍්‍රී වරුන්ගේ ජනවරමට අනුව ස්වාධීන පැවැත්ම බලරහිත කෙරේ.
  3. 20 වන සංශෝධනය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 54 ව්‍යවස්ථා ව කියවීමට අනුව රාජ්‍ය සේවය ඝෘජු දේශපාලන බල අධිකාරියට යටත් කෙරේ.
  4. 20 වන සංශෝධනය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 103 ව්‍යවස්ථාව කියවීමට අනුව මැතිවරණ ක‍්‍රියාවලිය ස්වාධීන ක‍්‍රියාකාරිත්වයෙන් අහෝසි කෙරේ.
  5. 20 වන සංශෝධනය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 109 ව්‍යවස්ථාව කියවීමට අනුව අධිකරණ පද්ධතියේ ස්වාධීන පැවැත්ම අභියෝගයට ලක් කෙරේ.
  6. 20 වන සංශෝධනය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 ව්‍යවස්ථා කියවීමට අනුව නීතියේ සාධාණත්වය ඉල්ලා සිටීමට ජනතාවට තිබූ අයිතිය අහෝසි කෙරේ.
  7. 20 වන සංශෝධනය මගින් සංශෝධනය කිරීමට අපේක්ෂා කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 153 ව්‍යවස්ථා කියවීමට අනුව හොරකමට, වංචාවට හා දූෂණයට ඉඩකඩ විවර කෙරේ.

මෙම කරුණුවලින් වුවද තහවුරු වන්නේ 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මේ අවස්ථාවේ කිසිම ලෙසකින්වත් අවශ්‍ය නොවන බවයි. රටට අවශ්‍යව ඇත්තේ නූතත තත්වයන්ට ගැලපෙන රට ආර්ථික වශයෙන් මෙන්ම දේශපාලනික හා සංස්කෘතිකමය ක්‍ෂේත‍්‍රයන්ගෙන් ඉහලට ඔසවා තැබිය හැකි සහ රට එක්සත් කළ හැකි අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකි. එබැවින් ඒ පිළිබඳව මහජන කතිකාවක් ගොඩනගා රටට උචිත අළුත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයෙහිලා කටයුතු ආරම්භ කරන ලෙසත් 20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අක‍්‍රීය සංශෝධනයක් බවට පාර්ලිමේන්තුව මගින් තහවුරු කරන ලෙසටත් ජාත්‍යාලයෙන් යුතුව ඉතා කාරුණිකව අවධාරණය කොට මෙයින් ඉල්ලා සිටිමු.

Rivira FB Group Rivira Youtube
To Top