(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පස්වරු 12.15ට)
කොවිඩ්-19 වැළඳීමෙන් විදේශයන් හී දී මිය ගිය ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි පිරිනැමීම සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් මේ වන විට පියවර ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යංශය පවසනවා.
ඒ අනුව මියගිය අය අතුරින් 14 දෙනෙකු වෙනුවෙන් අදාළ ලිපි ගොනු දැනටමත් ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව වෙත යොමු කොට ඇති බව ඔක්තෝම්බර් 13 දින නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එලෙස මිය ගොස් ඇති 14 දෙනා අතර පිරිමි ශ්‍රමිකයින් 12 දෙනෙකු හා කාන්තා ශ්‍රමිකයින් දෙදෙනෙකු ඇතුළත් අතර ඔවුන්ගෙන් 9 දෙනෙකු සෞදි ආරාබියේදී මියගොස් ඇති බවත්, තවත් සිව් දෙනෙකු කුවේටයේ දී මියගොස් ඇති බවත්, අනෙක් පුද්ගලයා ඩුබායිහී දි මිය ගොස් ඇති බවත් එම කාර්යංශය පවසනවා.
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රි ලංකා රක්ෂණ සංස්ථාව අතර, විගමණික ශ්‍රමිකයින් වෙනුවෙන් ඇති කරගත් රක්ෂණ ගිවිසුමට අනුව යමින් කොවිඩ්-19 වැළඳීමෙන් මිය යන කාර්යාංශයේ ලියාපදිංචි ශ්‍රමිකයින්ට මෙම වන්දි පිරිනැමෙන බව ද එම කාර්යංශය පෙන්වා දෙයි.
එසේම, කොවිඩ්-19 හේතුවෙන් මියගිය බව තහවුරු කරගත් 23 දෙනෙකුගේ ආගමික කටයුතු සඳහා රු.40,000.00 බැගින් ගෙවීමට ද මේ වනවිට කටයුතු යොදා ඇති බව ඔවුන් පවසනවා. කොවිඩ්-19 වැළදීමෙන් මිය ගිය තවත් ශ්‍රමිකයින් පිරිසකගේ ලියවිලි කාර්යාංශයට ලැබෙමින් පවතින අතර, ඔවුන් වෙනුවෙන්ද රක්ෂණ වන්දි පිරිනැමීමට ඉදිරියේදී කටයුතු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යංශය වැඩිදුරටත් පවසනවා.

