,
Environment

කැළෑ කැපීමක් වාර්තා කරන්න ගිය මාධ්‍යවේදීන්ට දත් කැඩෙන්න පහර දීලා – පහර දීම මාධ්‍ය සංවිධාන හෙළා දකී

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 13 පස්වරු 06.05ට)

මුලතිව් හී ගස් කැපීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය ප්‍රදේශීය මාධ්‍යවේදීන් දෙදෙනකුට පහර දී ඔවුන්ගේ දර්ශන මකා දැමීමේ සිදුවීමක් නැගෙනහිර පළාතෙන් වාර්තා වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් මාධ්‍ය සංවිධාන රැසක් සිය අවධානය යොමු කර තිබෙනවා. ඔවුන් ඉල්ලා සිටින්නේ අදාළ මාධ්‍යවේදීන් දෙදෙනාට පමාවකින් තොරව යුක්තිය ඉටු විය යුතු බවයි.

ශන්මුගන් තවසීලන් සහ කනපතිපිල්ලේ කුමනන් යන මාධ්‍යවේදීන් දෙදෙනා ඔක්තෝම්බර් 12 දින ඇති වූ අදාළ සිදුවීමකින් පහර කෑමට ලක්ව ඇති අතර පහර කෑමෙන් තුවාල ලැබූ මාධ්‍යවේදීන් දෙදෙනා රෝහල් ගත කර තිබෙනවා. තේක්ක ගස් කැපීමේ සිදුවීමක් ආවරණය කිරීම සඳහා ගිය මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දී ඔවුන්ගේ කැමරාවල තිබූ දර්ශන ද මකා දමා ඇති බව ද සඳහන්.

මේ අතර මාධ්‍යවේදීන් දෙදෙනාට පහරදීම නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එමගින් ඔවුන් පවසන්නේ මෙම පහර දීම ඉතා පිළිකුල් සහගත බවයි.

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සඳහන් කරන්නේ අදාළ පහර දීමෙන් මාධ්‍යවේදී තවසීලන්ගේ දත් දෙකක් කැඩී ඇති අතර මාධ්‍යවේදී කුමනන්ගේ නාසයට හානි වී ඇති බවයි.

රට තුළ පරිසර විනාශයන් සම්බන්ධයෙන් නිරන්තරයෙන් තොරතුරු වාර්තා වන පසුබිමක ඒවාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වෙනුවට ඒවා වාර්තා කිරීමට යන මාධ්‍යවේදීන්ට ප්‍රහාරයට ලක්වීම ඛේදනීය තත්ත්වයක් බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය එම නිවේදනයෙන් පවසනවා.

මාධ්‍යවේදීන්ට නිදහසේ තම වෘත්තීය කටයුතු කර ගෙන යෑමට නම් තරාතිරම නොතකා, අදාළ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව ද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පවසනවා.

මේ සම්බන්ධයෙන් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය වැඩ බලන පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

එම ලිපිය පහතින්.

මුලතිව්හි ගස් කැපීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය ජනමාධ්‍යවේදීන් දෙදෙනකුට අද (12) පිරිසක් විසින් පහර දෙනු ලැබ තිබේ. පහරකෑමෙන් ශම්මුගන් තවසීලන් සහ කේ කුමනන් යන මාධ්‍යවේදීන් දෙදෙනා තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා රෝහල් ගත කරනු ලැබ සිටිති.

නීති විරෝධීව තේක්ක ගස් කැපීමේ සිද්ධියක් වාර්තා කිරීමට ගිය එම මාධ්‍යවේදීන් දෙදෙනාට හතර දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පහර දී තිබේ. මාධ්‍යවේදීන් අත තිබූ කැමරාවල දර්ශන ද මකා දමා ඇතැයි වාර්තාවේ.

සමාජයේ සිදුවන නීති විරෝධී ක්‍රියා අනාවරණය කිරීමට ජනමාධ්‍යවේදීන්ට අයිතියක් ඇත. එය ජනමාධ්‍යවේදීන්ගේ රාජකාරියේ කොටසකි. එය මහජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියේ ද කොටසකි. එබැවින් මෙම මාධ්‍යවේදීන්ට සිදුවූ පහරදීම මහජනතාවට තොරතුරු දැන ගැනීමට ඇති අයිතියට ද එල්ල කළ ප්‍රහාරයක් සේ අපි සලකමු.

2004-2015 කාලයේ ජනමාධ්‍යවේදීන්ට සහ ජනමාධ්‍ය ආයතනවලට විවිධාකාරයේ බාධා කිරීම් බලපෑම් පැමිණි අතර මාධ්‍යවේදීන් කිහිප දෙනෙක් ඝාතනයට ලක්වූහ. තවත් පිරිසකට පහර දී තුවාලකරනු ලැබූහ. මෙවැනි සිදුවීම් 126ක් නීතිය හා සාමය අමාත්‍යවරයාව සිටි සාගල රත්නායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. කෙසේ වෙතත් යම් දුරකට විමර්ශනයක් හෝ ආරම්භ වූයේ ඒ්වායින් කිහිපයකට පමණි. විශේෂයෙන් දමිළ භාෂාවෙන් වැඩ කරන ජනමාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් සම්බන්ධයෙන් පිළිගත හැකි විමර්ශනයක් හෝ පැවැත්වූයේ නැත.

2015-2020 අතර කාලයේ පැවැති යහපාලන යැයි කියා ගන්නා ආණ්ඩුව බලයට පත්වීමට පෙර මෙම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බව කීවද සිද්ධි 126ක් අතුරින් ඔවුන් විමර්ශන ආරම්භ කළේ සිද්ධි පහක් සම්බන්ධයෙන් පමණි. එම ආණ්ඩු කාලයේ ද මාධ්‍යවේදීන්ට එරෙහි සිදුවීම් කිහිපයක්ම වාර්තා විය. නාවික හමුදාපතිවරයා විසින් මාධ්‍යවේදියකුට පහර දෙනු ලැබුවේ ද එම ආණ්ඩුව සමයේ වුවද ඒ්වාට නීතිය ක්‍රියත්මක වූයේ නැත. මෙවැනි අපරාධවලට නීතිය ක්‍රියාත්මක නොවීම ඉදිරියටත් මාධ්‍යවේදීන්ට එරෙහිව කටයුතු කරන අයට ආණ්ඩුව සහ පොලීසිය දක්වන සහයෝගයක් සේ අපි සලකමු.

එබැවින් මුලතිව්හි පහරකෑමට ලක්වූ මාධ්‍යවේදීන් දෙදෙනාට පහර දුන් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ඊට පෙර පහරකෑමට ලක්වූ සහ මරා දැමුණු මාධ්‍යවේදීන් වෙනුවෙන්ද යුක්තිය ඉටු කිරීම සඳහා විමර්ශන සිදු කර සැකකරුවන් නීතිය හමුවට පමුණුවන ලෙසත් ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ලෙස අපි ඉල්ලා සිටිමු.

ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top