(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 14 පස්වරු 06.15ට)
මතුගම – කොළඹ අධිවේගී මාර්ගයේ ධාවනය වූ සුඛෝපබෝගී බස් රථයක රියදුරු, කොන්දොස්තර හා අදාළ බස් රථයේ හිමිකරුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
අදාළ බස් රථයේ ගමන් කළ මතුගම වල්ලාවිට ප්‍රදේශයේ පදිංචි ජාතික රෝහලේ හෙදියකට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මෙම බස් රථයේ හිමිකරු, රියදුරු හා කොන්දොස්තර ස්ව කැමැත්තෙන්ම නාගොඩ රෝහල වෙත පැමිණ පීසීආර් පරීක්ෂණ වෙත ඉදිරිපත් වී ඇති අතර ඒවායේ ප්‍රතිඵල අනුව ඔක්තෝම්බර් 13 වන දින ඔවුන්ට ද වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.
බස් රථ රියදුරු මතුගම නවුන්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, කොන්දොස්තර මතුගම බදුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බස්රථයේ හිමිකරු මතුගම ඕවිටිගල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව මතුගම පවුල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජී.ඩී. ලයනල් සඳහන් කරයි.
“කළුතර මහරෝහලේ පීසීආර් කිරීමෙන් පසුව කොවිඩ් 19 ආසාදිත බවට රෝගීන් තිදෙනෙකු මතුගම සෞඛ්‍ය නිලධාරී කොට්ඨාසයේ, බදුගම, ඕවිටිගම සහ යටගල යන ප්‍රදේශවලින් ඊයේ මධ්‍යම රාත්‍රියෙන් වාර්තා වුණා. එතැන් සිට මතුගම ප්‍රාදේශීය සභාව, පොලීසිය හා මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සම්බන්ධ කරගනිමින් අවශ්‍ය නිරෝධායන කටයුතු සිදුකරමින් පවතිනවා. මෙම තිදෙනා මතුගම – කොළඹ වායුසමීකරණය කරන ලද බස් රථයක රියදුරු, කොන්දොස්තර සහ හිමිකරුවන් වෙනවා. මෙම බස් රථය කොළඹ සේවය කරන රෝහල් කාර්ය මණ්ඩලය, රාජ්‍ය සේවකයින්, ව්‍යපාරිකයින් හා පොදු මහජනතාව ගමන් කර තිබෙනවා. ඒ අය සොයා විමර්ශන කටයුතු කරමින් සිටිනවා. තවද එම ආශ්‍රිතයින්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි. එම බස්රථයේ ගමන් කළ බොහෝ පිරිසක් මේ වන විට හඳුනා ගෙන තිබෙනවා.“
මෙම බස් රථයේ කොන්දොස්තරවරයාගේ බිරිඳ සේවය කරනු ලබන්නේ, මතුගම පිහිටි පෞද්ගලික බැංකුවක වන අතර එම බැංකුව ස්වකැමැත්තෙන්ම ඉදිරිපත් වී සිය ගණුදෙනු කටයුතු සිදු කිරීමෙන් ඉවත් වී තිබෙනවා. එමෙන්ම, මතුගමින් ආරම්භ වන බොහෝ පෞද්ගලික බස් රථ ඔක්තෝම්බර් 14 වන දින ධාවනයෙන් ඉවත් වීමට ද කටයුතු කර තිබුනා.
එමෙන්ම, මතුගම පෞද්ගලික බස් නැවතුම්පොළ පිටුපස පිහිටි කඩ සාප්පුද එහි හිමිකරුවන් විසින් ඔක්තෝම්බර් 14 වන දිනයේදී වසා තබා තිබෙනවා යැයි මතුගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ජි.ඩි. ලයනල් සඳහන් කළා.

