,
Covid-19

නිරෝධායන නීති පිළි නොපැදීමෙන් රු.10,000ක දඩයක් හෝ මාස 06 සිරගතවීමක්, ගැසට්ටුව මුද්‍රණයට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 15 පස්වරු 06.45ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීමේ හා නිරෝධායන නීති රාමුව විධිමත් කිරීමේ අරමුණින් නිරෝධායන නීති කඩ කිරීමට අදාළ දඬුවම් ද සහිතව අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඔක්තෝම්බර් 15 දින සෞඛ්‍ය අමාත්‍ය, නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි විසින් අදාළ ගැසට් නිවේදනයට අත්සන් තබා රජයේ මුද්‍රණාලය වෙත යොමු කර ඇති අතර ඒ යටතේ විශේෂ නීති මාලාවක් නිකුත් කර තිබෙනවා.

මේ වනවිට එම ගැසට් පත්‍රයේ සඳහන් විශේෂ කරුණු මාධ්‍ය වෙත නිකුත් කර ඇති අතර එය ප්‍රසිද්ධ කිරීමෙන් පසු නිරෝධායන නීති කඩ කිරීම සම්බන්ධයෙන් වරදකරුවෙකු වන පුද්ගලයෙකුට රුපියල් 10,000කට නොවැඩි දඩයකුත්, මාස 06ක සිර දඬුවමකුත් යන දඬුවම් එක් දඬුවමක් හෝ හෝ දඬුවම් දෙකම ලබාදීමට අධිකරණයට හැකියාව ලැබෙනු ඇති බව වාර්තා වේ.

එසේම, මහජනතාවට පිවිසිය හැකි සියලුම ආකාරයේ ස්ථාන පවත්වාගෙන යා යුතු ආකාරය ද එම ගැසට් නිවේදනයෙන් නම් කර තිබෙනවා. ඒ අනුව,

  • පොදු ස්ථානයකට (භාණ්ඩ හෝ සේවා සපයන ව්‍යාපාරික ස්ථානය ද ඇතුළත්) ඇතුළුවන සෑම අයෙකුම මුව ආවරණයක් පැළඳ සිටීම අනිවාර්ය වේ.
  • එවැනි ස්ථානයට ඇතුළුවීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම අනිවාර්ය වේ.
  • විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමට පහසුකම් සැලැස්වීම ද අනිවාර්ය වේ.
  • එසේම, දෙදෙනෙකු අතර අවම වශයෙන් මීටරයකට නොඅඩු දුරස්ථභාවයක් පවත්වා ගෙන යෑම අනිවාර්ය වේ.
  • එවැනි ස්ථානකට ඇතුළුවන පුද්ගලයින්ගේ නම, හැඳුනුම්පත් අංකය, ලිපිනය සහ දුරකතන අංකයක් සමග සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යාම අනිවාර්ය වේ.

එවැනි ස්ථානවල රැස්විය හැකි උපරීම ධාරිතාවය ඉක්මවා පුද්ගලයින් රැස් කිරීම තහනම් වේ.

එසේම පොදු කරුණු රැසක් ද එහි ඇතුළත් බව වාර්තා වේ. ඒ අනුව,

  • සංචරණ සීමා පැනවූ විට ඊට අනුකූව ක්‍රියා කිරීම අනිවාර්ය වේ.
  • නිරෝධායන කටයුතුවලට අදාළව උපදෙස් පිළිපැදීම අනිවාර්ය වේ.
  • මගී ප්‍රවාහනයට පනවා ඇති රෙගුලාසි අනුගමනය කිරීම අනිවාර්ය වේ.

මෙහිදී පනතේ නියෝගවලට පිටින් කටයුතු කරනු ලබන අවස්ථාවක මහේස්ත්‍රාත් අධිකරණය නඩු පවරා ඉන් වරදකරු වන අයෙකුට රු.10,000කට නොවැඩි දඩයක් හෝ මාස 06කට නොවැඩි සිර දඬවමක් යන දඬුවම් දෙකම හෝ ඉන් එක් දඬුවමක් යන අවස්ථාවලින් අධිකරණය නියම කරනු ලබන දඬුවමකට යටත් වීමට සිදු වේ.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top