දේශීය පුවත්

රුපියල් කෝටියක් ගෙවා තෙල් නෞකාවේ කපිතාන් නිදහස් වෙයි, සම්පූර්ණ විස්තර මෙන්න

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 16 පස්වරු 02.06ට)

MT New Diamond තෙල් නෞකාවේ කපිතාන්, ග්‍රීක ජාතික තිරෝස් ඉල්යාස් විසින් නීතිපති දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කළ චෝදනාවලට වරදකරු බව පිළිගනමින් මහාධිකරණයේ දී ගෙවීමට එකඟ වූ රුපියල් මිලියන 12ක් හෙවත් කෝටි 1.2ක දඩ මුදල ගෙවා දැමූ බව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඔහුගේ නීතිඥවරු මගින් දන්වා තිබෙනවා.

ඒ අනුව, ඔහුගේ නීතිඥවරුන් ඉදිරිපත් කළ මෝසමකට අදාළව එම නඩුව ඔක්තෝම්බර් 16 දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් පවසා සිටියේ කොළඹ මහාධිකරණය හමුවේ අදාළ චෝදනාවලට වරදකරු බව කපිතාන්වරයා විසින් පිළිගනිමින්, ඒ අනුව නියම වූ දඩ මුදල නිසි පරිදි ගෙවා දැමූ බවයි.

එබැවින් කපිතාන්වරයා වෙත පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද එම නීතිඥවරුන් වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඊට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගෙන් විරෝධයක් එල්ල නොවීය.

සියලු කරුණු සළකා බැලීමෙන් අනතුරුව, කපිතන්වරයා වෙත අධිකරණය මඟින් පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.

මහාධිකරණ නියෝගය

කපිතාන්වරයාට එරෙහිව අධි චෝදනා ගොනු කරමින් නීතිපති දෙපාර්තමේන්තුව පැවරූ නඩුව ඔක්තෝම්බර් 14 දින කොළඹ මහධිකරණය ඉදිරියේ කැදවනු ලැබුව‌ා.

එහිදී තිරෝස් ඉල්යාස් නැමති ග්‍රීක ජාතික කපිතාන්වරයාට අධි චෝදනා පත්‍ර භාර දීමෙන් පසු ඔහු එම චෝදනාවලට වරද පිළිගන්නා බව ප්‍රකාශ කළා. ඒ අනුව, ගින්න ඇතිවූ අවස්ථාවේදී නෞකාවේ ඇති ස්වයංක්‍රීය ගිනි නිවීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට විත්තිකාර කපිතාන්වරයා අසමත් වූ බව පළමු චෝදනාව යි.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පෙන්වා දුන්නේ ඔහු පියවර ගත්තේ නම් සිදුවූ විශාල අනතුර වලක්වා ගැනීමට හැකියාව තිබූ බවයි. නෞකාවේ ධාවන කටයුතු සදහා වෙන් කර තිබූ ඉන්ධනවලින් මෙට්ට්‍රික් ටොන් හාරසීයේ සිට හාරසීය අසූවක් දක්වා ප්‍රමාණයක් මුහුදට කාන්දු වී ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය. එමගින් ‌කිලෝමීටර් හතලිහක වපසරියක් තුළ මුහුදු ජලය මත තෙල් පාවීමට පටන්ගෙන ඇති අතර ඒවා ඉවත් කිරීමට අවම වශයෙන් වසර දහයක් හෝ පහළොවක් ගතවන බව අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය.

එසේම, විත්තිකාර කපිතාන්වරයාගේ නොසැලිකිලිමත් ක්‍රියා කලාපය හේතුවෙන් ශ්‍රී ලංකා රාජ්‍ය වින්දිතයෙකු බවට පත්වී ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එහි හානිය පූර්ණය කිරීම සදහා නීතිය මගින් නියම කළ හැකි රුපියල් මිලියන විස්සක දඩයට අමතරව ඇමෙරිකානු ඩොලර් මිලියනයක වන්දියක් ද ගෙවන ලෙස විත්තිකරු වෙත නියෝගයක් නිකුත් කරන ලෙස මහාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

විත්තිකාර කපිතාන්වරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥවරයා පෙන්වා දුන්නේ නෞකාව තුළ ඇතිවු පිපිරීම නිසා විදුලිය සම්පූර්ණයෙන් විසන්දි වූ බවයි. එවැනි තත්වයක දී ස්වයංක්‍රීය ගිනි නිවීමේ පද්ධතිය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් නොමැති බවත් තම සේවා දායකයාට ද එය සිදු කිරීමට අවස්ථාවක් නොමැති බවත් අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ ය.

අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් පසු කොළඹ මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ විසින් රුපියල් මිලියන දොලහක දඩයක් ගෙවන ලෙස විත්තිකාර කපිතාන් තිරෝස් ඉල්යාස් වෙත නියෝග කළ අතර අදාළ දඩ මුදල ගෙවීමෙන් පසු විත්තිකාර කපිතාන්වරයා මුදා හරින ලෙස ද නියෝග කළේ ය.

ශ්‍රී ලංකාව තුළ දී මෙවැනි චෝදනාවක් යටතේ නඩු පවරා දඩ නියම කළ පළමු අවස්ථාව මෙය බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සඳහන් කළා.

වැඩිදුර කියවන්න

  1. නිව් ඩයමන්ඩ් තෙල් නෞකාව ශ්‍රී ලංකාවෙන් යන්න යයි
  2. තෙල් නෞකාවේ කපිතාන්වරයාට විදෙස්ගත වීම තහනම් කෙරේ
  3. ගිනිගත් තෙල් නැවේ කපිතාන්ට නොතීසි
  4. නෞකාවෙන් තෙල් කාන්දු වූ විවර දෙකෙන් එකක් වසා දමයි
  5. නෞකාවේ කපිතාන්වරයා නිරෝධායනය සඳහා ගාල්ලට
  6. තෙල් නෞකාවේ ගින්න සම්පූර්ණයෙන්ම නිවා දමයි – නාවික හමුදාපති
  7. ඉන්ධන නෞකාවේ ගින්න සාර්ථකව පාලනය කළ බව ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය පවසයි
  8. තෙල් නැවේ සේවකයෙකු මරුට, තෙල් විසුරුනොත් ලංකා වෙරළ තීරයට දැඩි හානි
  9. බොරතෙල් ටොන් ලක්ෂ 2ක් ප්‍රවාහනය කරමින් ශ්‍රී ලංකාව අසලින් ගමන් කළ ඩයමන්ඩ් නෞකාවේ ගින්නක්
Rivira FB Group Rivira Youtube
To Top