කොවිඩ්-19

කොළඹ නැව් තටාකාංගණයේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 17 පස්වරු 08.40ට)

කොළඹ වරායේ නැව් තටාකාංගණයේ සේවය කරන සේවකයින් දෙදෙනෙකුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඉන් එක් පුද්ගලයෙක් ගාල්ල කිතුලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර අනෙක් පුද්ගලයා රාගම බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ.

ගාල්ල කිතුලම්පිටියේ පදිංචි 37 හැවිරිදි මෙම පුද්ගලයා පසුගිය ඔක්තෝම්බර් 15 වැනි දින සවස ඔහු සේවය කරන කොළඹ නැව් තටාකාංගණයේ සේවකයෙකුට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට දැන ගැනීමෙන් පසුව තමාට ද රෝග ලක්ෂණ ඇති බවට සැක පළ කරමින් පීසීආර් පරීක්ෂණය සඳහා යොමු වී ඇත. එම පරීක්ණය මඟින් ඔහුට කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

එසේම, එම ආසාදිතයා ඔක්තෝම්බර් 15 වැනි දින දුම්රියෙන් කොළඹ සිට ගාල්ල දක්වා ගමන් කර ඇති අතර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට ද ගොස් තිබෙනවා.

අදාළ ආසාදිත පුද්ගලයා ප්‍රතිකාර සඳහා ඉරණවිල කොවිඩ් – 19 රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහුගේ බිරිඳ සහ දරුවෙකු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම හේතුවෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. ඇයගේ බිරිඳ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කොවිඩ් – 19 ප්‍රතිකාර ඒකකයට අනියුක්තව සේවය කරන හෙදියකි. ඔවුන්ගේ ආශ්‍රිතයින් හඳුනාගැනීමට මේ වන විට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් කොවිඩ් – 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විතය සඳහන් කරයි.

මේ අතර, කොළඹ නැව් තටාකාංගණය සඳහන් කළේ කොවිඩ් – 19 ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීම හේතුවෙන් සිය වැඩ බිම්හල් දෙකක කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි.

එමෙන්ම, බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ පිහිටා ඇති කොළඹ නැව් තටාකාංගණයේ සේවක නිල නිවාසයන්හි පදිංචි පවුල් 50ක් පමණ ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙන බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුණි සඳහන් කළා. එමෙන්ම, එම පිරිසගේ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල් ලබා ගැනීමට නියමිතව ඇති බවත් ඔහු සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top