ශ්‍රී ලංකාවේ පළමු නියෝජ්‍ය පොලිස්පතිවරිය බිම්ෂානි, පත් කිරීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු 14කගේ විරෝධය
(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 18 පස්වරු 09.04ට)
ශ්‍රී ලංකා පොලිසියේ සුබසාධක හා වෛද්‍ය සේවා දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස බිම්ෂානි ජාසිංහආරච්චි පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව අනුමැතිය ලබා දී තිබෙනවා.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරියක ලෙස පත් වූ පළමු කාන්තා පොලිස් නිලධාරිනිය වන බිම්ෂාන් ජාසිංහආරච්චි, නියෝජ්‍ය පොලිස්පතිවරියක ලෙස ලද පළමු පත් වීම ද මෙය යි.
ඔක්තෝම්බර් 08 දින සිට ක්‍රියාත්මක වන පරිදි එම පත් කිරීම සිදු කර ඇති අතර ඔක්තෝම්බර් 13 දින ඇය සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීම සිදුකරනු ලැබුවා.
ජාතික පොලිස් කොමිසම පවසන පරිදි පොලින් නිලධාරිනියන් දිරිමත් කිරීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක අතර ඒ අනුව නියෝජ්‍ය පොලිස්පතිවරියක් පත් කිරීමට තීරණයක් ගෙන තිබූ බවයි. ඒ අනුව, කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරියන් අතරින් ජ්‍යෙෂ්ඨත්ව අනුව ඉහළින්ම සිටින කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරිය වන බිම්ෂානි ජාසිංහආරච්චි ඊට පත් කිරීමට එම කොමිසම තීරණය කර ඇති බව සඳහන්.
ආර්ථික විද්‍යාව, සිංහල සහ සංඛ්‍යානය පිළිබඳ රුහුණු විශ්වවිද්‍යාලයේ ශ්‍රාස්ත්‍රවේදී උපාධිධාරිනියක් වන බිම්ෂානි ජාසිංහආරච්චි, කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ ශ්රාස්ත්රපති උපාධිය ද හිමි කරගෙන ඇත.
1997 වසරේ දී උප පොලිස් පරීක්ෂකවරියක් ලෙස ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වී ඇති බිම්ෂානි ජාසිංහආරච්චි 2012 වසරේ දී සහකාර පොලිස් අධිකාරිවරියක් ලෙස උසස් වීම් ලබා ඇත.
කෙසේ වෙතත්, එක් වරම නියෝජ්‍ය පොලිස්පතිවරියක් පත් කිරීම සම්බන්ධයෙන් එම තීරණයට එරෙහිව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 14 දෙනෙකු විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
එම පැමිණිල්ල මගින්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා පොලිස් සේවයේ අනුමත සේවක සංඛ්‍යාව තුළ කාන්තාවන් සඳහා නොමැති තනතුරකට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරේ කටයුතු කළ නිලධාරිනියක පත් කිරීම දෝෂ සහගත බව පෙන්වා දී ඇත.
කෙසේ වෙතත්, පසු වාර්තා වූයේ එලෙස පැමිණිලි කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ජාතික පොලිස් කොමිෂන් සභාව තීරණය කර ඇති බවයි.
පසුව පොලිස් අශ්වාරෝහක දිශාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ පැමිණිල්ල ඉදිරිපත් කළ නිලධාරීන් කිහිප දෙනෙකු ඔක්තෝම්බර් 12 දින කොමිසම හමුවට කැඳවා තිබූ අතර අතර ඊට පොලිස් නීති කොට්ඨාශයේ අධ්යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ රුවන් ගුණසේකර, කොවිඩ්-19 පාලනය කිරීමේ පොලිස්පති මැදිරියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, නීතිඥ ජාලිය සේනාරත්න ඇතුළු පිරිසක් අයත් විය.