(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 20 පෙරවරු 09.37ට)
සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර කිරුළ හිමි කරගෙන සිට පසුව ඩුබායි හී දී පොලිස් අත්අඩංගුවට පත් මාකඳුරේ මධූෂ් නම් අපරාධකරු, මාලිගාවත්ත නිවාස සංකීර්ණය අසළ දී ඇති වූ වෙඩි හුවමාරුවක දී වෙඩි වැදි මරණයට පත් වූ බව පොලීසිය සඳහන් කරයි.
නම - සමරසිංහආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත
උපන් ගම - මාතර, කඹුරුපිටිය, මාකඳුර
උපන් දිනය - (නොදනී - අත්අඩංගුවට ගැනීමේ දී තිබූ විදේශ ගමන් බලපත්‍රයේ උපන් දිනය සටහන්ව ඇත්තේ 1979.02.20 ලෙසයි. ඒ අනුව වයස අවුරුදු 41කි)
වෙනත් නම් - මාකඳුරේ මධූෂ්
විවාහක බිරිඳ - ගයානි මුතුමාලි (1999 ඔක්තෝම්බර් 28 විවාහ වී ඇතැයි පැවසේ)
දරුවන් - 2001 වසරේ පුතෙකු ලැබුණු බව කියයි
අනියම් විවාහයන් හා දරුවන්ද සිටී. ඩුබායි හී අත්අඩංගුවට පත්වන අවස්ථාවේ දී සිට ඇත්තේ සිය දියණියකගේ උපන් දින සාදයක බව කියැවෙයි
වැරදි - ඩැනී හිත්තැටිය ඝාතනයේ පටන් කොස් මල්ලි ඝාතනය දක්වා ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්
ඔක්තෝම්බර් 20 අලුයම 3ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමග ‘සඟවා තිබූ මත්ද්‍රව්‍ය තොගයක් පෙන්වීමට යාමේ දී’ එහි සිටි බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පොලීසිය අතර වෙඩි හුවමාරුවක් සිදු වී තිබෙනවා.
එම වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර අතර ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත් වූ බව පොලීසිය සඳහන් කළා.
කෙසේ වෙතත්, අදාළ ස්ථානයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකින් රුපියල් කෝටි 22කට අධික වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය කිලෝ 22ක් සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් පොලීසිය වෙඩි තැබූ බව කියන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබී නොමැති අතර ඒ සඳහා භාවිත කළ බව කියන පිස්තෝල දෙකක් සහ යතුරුපැදියක් සොයාගෙන තිබෙනවා.
ජාවාරම්කාර මධූෂ් මෙරටින් පැන ඩුබායි හී සැඟව සිටිය දී එරට පැවැත්වූ සාදයක දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් අනතුරුව වසර 1 1/2කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ තබාගෙන ප්‍රශ්න කළ අතර එම විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව වැඩිදුර පරීක්ෂණ සඳහා ඔක්තෝමර්බ් 16 දින කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD) භාර දී තිබුණි.
එහිදී, කොළඹ අපරාධ කොට්ඨාසය කළ ප්‍රශ්න කිරීම් හමුවේ ඔක්තෝම්බර් 17 දින CCD නිලධාරීන් විසින් කොටිකාවත්ත ප්‍රදේශයේ සඟවා තිබූ හෙරොයින් කිලෝ 10ක් සොයා ගැනීමට සමත් විය.
ඒ අනුව, මාලිගාවත්ත ප්‍රදේශයේ ද මත්ද්‍රව්‍ය ඇති බවට මධූෂ් දුන් තොරතුරක් මත ඔක්තෝම්බර් 20 දින සිදුකළ වැටලීමක දී මෙම සිදුවීම සිදු වී ඇති බව පොලිසිය කියයි.

