දේශීය පුවත්

යෝෂිත රාජපක්ෂ වසර 14ක නාවික හමුදා සේවයට සමුදෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 20 පස්වරු 02.52ට)

අග්‍රාමාත්‍ය කාර්ය මාණ්ඩල ප්‍රධානී ලෙස පත් කෙරුණු යෝෂිත රාජපක්ෂ, නාවික හමුදා සේවයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇති බවත්, ඒ සඳහා වන ඉල්ලා අස්වීමේ ලිපිය ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඔක්තෝම්බර් 10 දින පිළිගෙන ඇති බවත් යෝෂිත රාජපක්ෂ විසින් තහවුරු කළ බව ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කර තිබෙනවා.

2006 වසරේ දී නාවික හමුදාවට එක් වූ යෝෂිත රාජපක්ෂ වසර 14ක සේවා කාලයක් අවසන් කිරීමෙන් පසු මීට මාස ​​අටකට පෙර නාවික හමුදාවෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ඉදිරිපත් කර ඇති බව ‘ඩේලි මිරර්’ පුවත්පත අනාවරණය කර ඇති අතර එම ඉල්ලීම ඔක්තෝම්බර් 10 පිළිගෙන ඇති බව වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඔක්තෝම්බර් 12 දින නව තනතුරට පත් කිරීමට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් ඉදිරිපත් කරනු ලැබූ යෝජනාවකට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී ඇති බවත් ඒ අනුව අදාළ පත් කිරීම සිදු කිරීමෙන් අනතුරුව ඔක්තෝම්බර් 15 දින යෝෂිත රාජපක්ෂ සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන්.

නාවික හමුදා ජීවිතය

යෝෂිත රාජපක්ෂ 2006 වසරේ දී ශිෂ්‍යභට (කැඩේට්) නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ අතර ත්‍රිකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨය තුළදී සිය මූලික පුහුණුව නිම කිරීමෙන් පසු මධ්‍ය නිලධාරියෙකු ලෙස උසස් වීම් ලබා ඇත. අනතුරුව බ්‍රිතාන්‍යයේ ඩාර්ත්මත් හි පිහිටි රාජකීය නාවික හමුදා විද්‍යා පීඨයෙහි පුහුණුව ලබා ඇත. ඉන්පසු 2009 වසරේ දී වැඩ බලන උප ලුතිනන් ධූරයට උසස් වීම් ලබා ඇති යෝෂිත රාජපක්ෂ 2015 වසරේ දී ලුතිනන්වරයෙකු ලෙස සේවය කරමින් සිටිය දී එවකට පැවති රජය විසින් වැඩ තහනමට ලක් කෙරුනි.

ඉන්පසු 2019 සැප්තැම්බර් 25 දින යළිත් සේවයේ පිහිටුවීමට එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළ අතර එම වසරේ ම ඔක්තෝම්බර් 02 දින තාවකාලික පදනම මත ලුතිනන් කමාන්ඩර් නිලයට උසස් කළේ ය. ඔහුගේ ජීව දත්ත විස්තරය අනුව සිය නාවික හමුදා ජීවිතය තුළ දී ම යුක්‍රේනයේ ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයෙන් ශ්‍රාස්ත්‍රපති සහ ආචාර්ය උපාධිය ද සම්පූර්ණ කර ඇත.

“සේවය අත්හිටුවීමෙන් පසු පියාගේ කටයුතුවලට දායක උනා”

මේ අතර, මාධ්‍ය වෙත අදහස් දක්වමින් යෝෂිත රාජපක්ෂ කියා සිටියේ යහපාලන ආණ්ඩුව සමයේ තමන්ගෙන් දේශපාලනිකව පළි ගැනීමට කළ කටයුත්තක් ලෙස තමන්ගේ සේවය පවා අත්හිටවූ බවයි. එම කාලය තුළ තමන් තම පියාගේ කටයුතුවලට උදව් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස මෙම වගකීම භාර ගන්නැයි අගමැතිවරයා ඉල්ලා සිටි බවත් යෝෂිත රාජපක්ෂ සඳහන් කළා.

තමන්ට නව තනතුරේ රාජකාරි කිරීමට අවශ්‍ය දැනුම හා හැකියාව ඇති බවත්, සමාජයෙන් හොඳ සහ නරක යන දෙවර්ගයේම ප්‍රතිචාර ලබාදෙන බවත් පැවසූ යෝෂිත රාජපක්ෂ කියා සිටියේ තමන් රාජකාරි කරන ආකාරය වසරක්වත් බලා සිට තම විවේචන ඉදිරිපත් කරන ලෙස සමාජයෙන් ඉල්ලා සිටින බවයි.

යෝෂිත රාජපක්ෂ අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ලෙස පත් වූ ලාබාලතමයා බවට පත් වෙයි

Rivira FB Group Rivira Youtube
To Top