ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

“අගමැතිතුමාට බලය එන්නේ ව්‍යවස්ථාවෙන් නෙවෙයි, බලය එන්නෙ ජනතාවගෙන්” – අධිකරණ ඇමති අලි සබ්‍රි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පස්වරු 01.25ට)

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සිදු කිරීමට 20 සංශෝධනය සම්බන්ධයෙන් වූ කෙටුම්පත පිළිබඳ දෙදින විවාදය ඔක්තෝම්බර් 21 පෙරවරු 10ට පමණ පාර්ලිමේන්තුවේදී ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින් අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහමඩ් අලි සබ්‍රි ආණ්ඩුව පක්ෂය වෙනුවෙන් අදහස් දැක්වීම ආරම්භ කළා. එහිදී 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට සිදු කිරීමට නියමිත සංශෝධන කිහිපයක් හා ශ්‍රේෂ්ඨාධීකරණයෙන් ලද නිගමනය මත සිදු කිරීමට නියමිත සංශෝධන සම්බන්ධයෙන් දීර්ග ලෙස පැහැදිලි කළේ ය.

එම අවස්ථාවේ දී ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විමසා සිටියේ අගමැතිවරයාගේ බලතල ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ ඇයිදැයි කියා ය. අවම වශයෙන් යම් බලතල ප්‍රමාණයක් හෝ ලබා දීම අවශ්‍ය නොවේදැයි විපක්ෂ නායකවරයා විමසා සිටියා.

ඊට පිළිතුරු දෙමින් අධිකරණ අමාත්‍යවරයා පවසා සිටියේ තම අග්‍රාමාත්‍යවරයාට බලය ලබා දී ඇත්තේ ව්‍යවස්ථාවෙන් නොවන බවත් ජනතාව අගමැතිතුමාට බලය ලබා දී ඇති බවත් එය විපක්ෂය ගැටළුවක් නොකරගත යුතු බවත් තමන් අවධාරණය කරන බවයි.

එසේම කැබිනට් මණ්ඩලයට ප්‍රමුඛ ඇමති මණ්ඩලයට 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති සීමාවන් තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කළ බව ද අධිකරණ ඇමතිවරයා පෙන්වා දුන්නා. එසේම විගණකාධිපතිවරයා සතු බලතලවල කිසිඳු වෙනසක් සිදු නොවන බව ද ඇමතිවරයා පාර්ලිමේන්තුව හමුවේ පෙන්වා දුන්නා.

Rivira FB Group Rivira Youtube
To Top