,

සමගි මන්ත්‍රී හේෂා සහ චමින්දගේ සහය 20ට හිමිවෙයිද?

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 21 පස්වරු 07.08ට)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ දෙදින විවාදය පළමු දිනය වන ඔක්තෝම්බර් 21 දින විපක්ෂයේ මන්ත්‍රීවරුන් රථ වාහන පෙළපාලියකින් හා විරෝධතා පටි පැළඳීමෙන් ඊට විරෝධතාවය දැක්වීමට කටයුතු කර තිබුණි. එහෙත් විපක්ෂයේ වඩාත් ක්‍රියාකාරී තරුණ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ එම පක්ෂයේම බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඊට සහභාගී වී සිටියේ නැත.

මේ සම්බන්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි කතාබහක් ඇති වූ අතර ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකු සඳහන් කළේ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම් වන බවයි. ඒ අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනාගේ සහය ඊට හිමිවනු ඇත්දැයි කළ විමසීමට ප්‍රතිචාර දක්වමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයා කියා සිටියේ තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම සූදානමින් සිටින බැවින් දැනට නිශ්චිතව අනාවරණය කළ නොහැකි බවයි.

කෙසේ වෙතත්, මන්ත්‍රීවරුන් දෙදෙනා සහභාගී නොවීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරයෙකුගෙන් අප කළ විමසීමක දී එම මන්ත්‍රීවරයා සඳහන් කළේ අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා නොපැමිණි හේතුව තමන් නිශ්චිතව නොදන්නා නමුත් පසුගිය කාලය තුළ පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවලදී මතභේදයන් ඇති වූ බවයි. එහෙත් කිසිවිටෙක අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩුවට එක්වීමේ තීරණයක් ගනු ඇතැයි තමන් විශ්වාස නොකරන බව එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

ප්‍රකට දේශපාලන විචාරකයෙකු මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ එම මන්ත්‍රීවරුන් දෙදෙනා ඔහු දන්නා තරමින් සටන්කාමී මන්ත්‍රීවරුන් දෙදෙනෙකු බවත් සුවිශේෂි තත්වයක් ඇති නොවූයේ නම් අනිවාර්යෙන්ම අද විවාදයට සහභාගී විය යුතු බවත් තම විශ්වාසය බවයි. එම කිසියම් දේශපාලනික තීන්දුවක් නිසා සිදුවූවාද යන සැකය තමන් තුළ ඇති බව ඔහු සඳහන් කළා.

කෙසේ හේෂා විතානගේ සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් දෙදෙනා සම්බන්ධ කරගැනීමට අප දැරූ උත්සාහය ව්‍යර්ථ විය.

මේ සම්බන්ධයෙන් සමාජ ජාල තුළ ප්‍රබල කතිකාවක් නිර්මාණය වී ඇති අතර බොහෝ දෙනෙකු මත පළ කර ඇත්තේ අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා තීරණාත්මක දේශපාලන තීන්දුවක් අභියස සිටින බවයි.

Rivira Ads