ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

20ට සහය දෙන්න විපක්ෂයේ මන්ත්‍රීවරු 10ක් සූදානම්! ද්විත්ව පුරවැසි අවුලත් විසඳෙයි

RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 22 පෙරවරු 11.13ට)

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ සිදුකෙරන දෙදින විවාදය දෙවන දිනය වෙනුවෙන් ඔක්තෝම්බර් 22 පෙරවරු 10ට පමණ ආරම්භ විය. විවාදය අවසානයේ දී රාත්‍රී 07.30ට පමණ ඊට අදාළ ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති අතර එහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් 10 දෙනෙකු පමණ ඊට සහය ලබා දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

රත්නපුර, බදුල්ල, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව දිගාමඩුල්ල, මඩකලපුව යන දිස්ත්‍රික්ක නියෝජනය කරන මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ඊට ඇතුළත් බව ආණ්ඩු පක්ෂයේ ආරංචි මාර්ග පවසයි. එසේම සමගි ජනබලවේගයට සම්බන්ධ සුවිශේෂී චරිතයක් ද 20 වන සංශෝධනයට පක්ෂව සහය ලබා දීමට සාකච්ඡා කරමින් සිටින බව ද ආණ්ඩු පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර, එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයා සහ අපේ ජනබල පක්ෂයේ නියෝජිතයා තවමත් නම් කිරීමට එම පක්ෂ අසමත් වී තිබීම හේතුවෙන් 20 වැනි සංශෝධනය පිළිබඳ ඡන්ද විමසීම සඳහා පාර්ලිමේන්තුව තුළ සිටින්නේ ජනතා නියෝජිතයින් 223 දෙනෙකු පමණක් වීම ද විශේෂත්වයකි.

මේ අතර, ඇතැම් සංශෝධන සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීමට නොහැකි වීම නිසා යම් ආරවුල් තත්වය සිටි විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, තිස්ස විතාරණ, විජයදාස රාජපක්ෂ ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමක් සහ ජනාධිපතිවරයා අතර ඔක්තෝම්බර් 21 දින රාත්‍රියේ පැවති සාකච්ඡාවක දී අවසන් එකඟතාවයකට පැමිණීමට හැකි වූ බව එම මන්ත්‍රී කණ්ඩායමේ සාමාජිකයින් සඳහන් කළා. ඒ අනුව ඔවුන් ඉදිරිපත් කළ බොහෝ සංශෝධනවලට ඉඩ ලැබුණ බවත් ඇතැම් සංශෝධන සම්බන්ධයෙන් මැද තැනකට පැමිණීමට හැකි වූ බවත් අනෙකුත් කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණි බවත් එම මන්ත්‍රී කණ්ඩායම සඳහන් කළා. ඒ අනුව, ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා 20න් ලබා දීමට නියමිත අවස්ථාව ලබා දීමටත් එය ඉදිරියේදී ගෙන එන නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමටත් ජනාධිපතිවරයා සහ මන්ත්‍රී කණ්ඩායම අතර එකඟතාවයක් ඇති වී තිබෙනවා. එම සංශෝධනය 19න් හඳුන්වා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කරමින් බව මන්ත්‍රී කණ්ඩායම පෙන්වා දුන්නා. එබැවින් එය මුල් වටයේ දී නැවත ඇතුළත් කොට නව ව්‍යවස්ථාවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top