දේශීය පුවත්

“LTTE තහනම ඊළාම් ස්වෛරී රාජ්‍යයකට බාධාවක්” කියූ පෙත්සමට බ්‍රිතාන්‍ය අභියාචන කොමිසමක් අවසර දෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 22 පස්වරු 02.13ට)

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය තහනම් සංවිධානයක් ලෙස කර ඇති නම් කිරීම ඉවත් කරන ලෙස ඉල්ලා දෙමළ ඊළාම් රාජ්‍ය නම් සංවිධානයක් එක්සත් රාජධානියේ අභියාචන කොමිසමකට ඉදිරිපත් කළ පෙත්සමක් පවත්වාගෙන යාමට එම අභියාචන කොමිසම අවසර ලබා දී තිබෙනවා.

එක්සත් රාජධානිය 2000 වසරේ සම්මත කරගත් ත්‍රස්ථවාදී පනත අනුව 2001 වසරේ සිට දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය – එල්ටීටීඊ Liberation Tigers of Tamil Eelam (LTTE) සංවිධානය තහනම් සංවිධානයක් ලෙස නම් කර තිබුණි.

කෙසේ වෙතත්, එම රටේ සිට එල්ටීටීඊ ත්‍රස්ථවාදී සංවිධායනයට සහය දෙන Transnational Government of Tamil Eelam (TGTE) හෙවත් “පිටුවහල් කරන ලද දෙමළ ඊළාම් රාජ්‍ය” නම් සංවිධානයක් විසින් එක්සත් රාජධානිය පනවා ඇති එම තහනම් නියෝගයට එරෙහිව එක්සත් රාජධානියේ රාජ්‍ය දෙපාර්තමේන්තුවට වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමකින් මෙම තහනම ඉවත් කරන ලෙස ඉල්ලා තිබූ නමුත් එල්ටීටීඊ තහනම ඉවත් කිරීමට අදාල ඉල්ලීම 2019 වසරේ දී ප්‍රතික්ෂේප කිරීමට එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණා.

ඒ අනුව දෙමළ ඊළාම් රාජ්‍ය සංවිධානය එම තීරණය අභියෝගයට ලක් කරමින් එක්සත් රාජධානියේ ත්‍රස්ථවාදී පනත යටතේ පිහිටුවා ඇති Proscribed Organisations Appeal Commission (POAC) හෙවත් තහනම් සංවිධාන අභියාචනා කොමිසම වෙත පෙත්සමක් ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.

පෙත්සමේ වගඋත්තරකරු ලෙස නම් කර තිබුණේ එක්සත් රාජධානියේ රාජ්‍ය ලේකම්වරයා යි. ඒ අනුව රාජ්‍ය ලේකම් වෙනුවෙන් අභියාචන කොමිසම හමුවේ පෙනී සිට ඇත්තේ සර් ජේම්ස් ඒඩී, බෙන් වොට්සන් සහ එමිලි විල්සන් යන නීතීඥවරුන් ය.

පෙත්සම්කරුවන් වන දෙමළ ඊළාම් රාජ්‍ය සංවිධානයේ ආරුමුගම් ඇතුළු පිරිස වෙනුවෙන් මායා ලෙස්ටර්, මැල්කම් බර්ඩ්ලින්, සහ ජේකොබ් රැබිනොවිට්ස් යන නීතීඥවරුන් පෙනී සිට තිබෙනවා.

එහි දී පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් කොමිසම හමුවේ සඳහන් කර ඇත්තේ “එල්ටීටීඊය තවදුරටත් තහනම් කිරීමට හේතුවක් නොමැති අතර තහනම පෙත්සම්කරුවන්ගේ සාමකාමී පෙනී සිටීමට බාධාවක් වන බවයි.

එසේම යුද්ධය පවතින විටත්, ඉන් පසුවත් සිදුවූ බව කියන මානව හිමිකම් උල්ලංඝනයක් කිරීමක් පිළිබඳ බ්‍රිතාන්‍යයේ සිටින අයෙකුට ප්‍රශ්න කිරීමට ඇති අවස්ථාවට එල්ටීටීඊ සංවිධානය තහනම් කර තිබීමෙන් බාධාවන බව ද පෙත්සම්කරුවන් කියා ඇත.

එසේම ස්වෛරී රාජ්‍යයක් ලෙස දෙමළ ඊළාම් රාජ්‍ය පිහිටුවීමට දෙමළ ඊළාම් රාජ්‍ය සංවිධානය සිදුකරගෙන යන වැඩ පිළිවෙලට ද එල්ටීටීඊ තහනම් හානිකර ලෙස බලපෑම් කරන බව ද අභියාචන කොමිසම හමුවේ පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දක්වමින් පවසා ඇත.

එසේම, පසුගිය වසර 10 තුළ එල්ටීටීඊය විසින් කිසිදු ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් සිදු කර නොමැති බව පවසා ඇති පෙත්සම්කරුන් කියා ඇත්තේ එල්ටීටීඊය තහනම් කිරීමේ ක්‍රියාවෙන් ප්‍රායෝගිකව අදහස් කරන්නේ සියලුම ද්‍රවිඩයන්ගේ දේශපාලන ක්‍රියාකාරකම් කඩාකප්පල් වන බවයි.

මෙහිදී අනාවරණය වූයේ දෙමළ ඊළාම් රාජ්‍ය නම් ත්‍රස්ථවාදීන්ට හිතවත් සංවිධානයේ අගමැතිවරයා ලෙස පුද්ගලයෙකු ද සිටින බවයි. ඔහු විශුවනාදන් රුද්‍රකුමාරන් බව ද අනාවරණය වී තිබෙනවා.

එලිසබෙත් ලෙයින්, රිචර්ඩ් ව්හිටම් හා ෆිලිප් නෙල්සන් යන විනිසුරුවරුන් ඉදිරිපිට මෙම පෙත්සම කැඳවා ඇති අතර එම පෙත්සම අභියාචනය විභාගයට ගෙන තිබිණි.

ඒ අනුව, එල්ටීටීඊ තහනම ඉවත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට රාජ්‍ය ලේකම්වරයා ගත් තීරණය දෝෂ සහිත බවට අභියාචන කොමිසම තීරණය කර තිබෙනවා. එම පදනම මත පෙත්සම පත්වාගෙන යාමට ඉඩ ලබා දෙන බව තහනම් සංවිධාන පිළිබඳ අභියාචන කොමිසම ඔක්තෝම්බර් 21 දින තීන්දු කර තිබෙනවා.

තහනම් සංවිධානයක තහනම තහනම ඉවත් කරන ලෙස රාජ්‍ය කටයුතු දෙපාර්තමේන්තුවට උපදෙස් දීමට තහනම් සංවිධාන පිළිබඳ අභියාචන කොමිසමට බලය ඇති අතර පෙත්සම පිළිගත්ත ද නඩුව විභාග කිරීමේ දිනයක් තවම නියම කර නොමැත.

Rivira FB Group Rivira Youtube
To Top