(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 23 පස්වරු 05.36ට)
සමගි ජනබලවේගයට සහය දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ආණ්ඩු පක්ෂයට සහය දීම සම්බන්ධයෙන් ඔක්තෝම්බර් 23 දින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක දී අදහස් දැක්වුවා.
ඔහු පැවසුවේ “නායකයින් නොමැතිව ගෝලයින් ලබා ගැනීමෙන් ආණ්ඩුව අපේක්ෂා කළේ රිෂාඩ් හා හකීම්ගේ සහය ගැනීමෙන් එල්ල වීමට නියමිතව තිබූ චෝදනාවලින් මිදීමට” බව හේෂා විතානගේ සඳහන් කළා. එසේම “තමන්ගේ ගෝලයින් ගියාට පසුව නායකයින් පමණක් රැඳී සිටීමෙන් පළක් නැති” බව ද මන්ත්‍රී හේෂා විතානගේ සඳහන් කළා.
එබැවින් “බදුර්දීන්ගේත් ඔහුගේ මල්ලිගේත් අපේක්ෂා ඉදිරියේ දී ඉටුවනු ඇති බව” තමන් විශ්වාස කරන්නේ යැයි හේෂා විතානගේ සඳහන් කළා. එසේම සමගි ජනබලවේගය සතුව තරුණ මන්ත්‍රීවරුන් රැසක් සිටින බවත් පැවසූ හේෂා විතානගේ සඳහන් කළේ සමගි ජනබලවේගය පිරිසිඳු මුස්ලිම් නායකයින් පක්ෂය තුළින්ම බිහි කරගත යුතු බවයි.
එසේම තමන් සහ චමින්ද විජේසිරි ආණ්ඩුවට සහය දෙන බවට රාවයක් පතුරුවා හැරීම සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරයෙකු වන කිර්ති තෙන්නකෝන්ට චෝදනා කරමින් ඔහු සඳහන් කළේ කැෆේ සංවිධානය හරහා ඒ අය සිදු කළේ රාජ්‍ය නොවන සංවිධානවල මුදල් ලබා ගැනීම බවයි. ඔවුන් සැබෑ සිවිල් සංවිධාන නියෝජනය කරන පුද්ගලයින් නොවන බව ද ඔහු සඳහන් කළා.

