Covid-19

පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයෙකු කල්පිටියේ දී මිය යයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 24 පස්වරු 05.33ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීමත් සමග පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිතව හටගෙන ඇති කොරෝනා පොකුර හේතුවෙන් එම මත්ස්‍ය වෙළඳපොල හා සම්බන්ධ පිරිස් පීසීආර් පරීක්ෂණ සඳහා යොමු කරවා ගැනීමට සෞඛ්‍ය අංශ පියවරගෙන තිබුණා. ඒ අනුව, මත්ස්‍ය ව්‍යාපාරිකයින් හා ලොරි රථ රියදුරන්, රිය සහයකයින් ඇතුළු පිරිසකගෙන් පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම ඔක්තෝම්බර් 24 දින කල්පිටිය රෝහලේ දී සිදු වුනා.

ඒ අනුව, පීසීආර් පරීක්ෂණයකට භාජනය වීම සඳහා කල්පිටිය දිසා රෝහල වෙත පැමිණ සිටි කන්දකුලිය පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු හදිසියේම මියගොස් ඇති බව කල්පිටිය පොලීසිය සඳහන් කළා.

අදාළ පුද්ගලයා ඔක්තෝම්බර් 21 දින පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොලට පැමිණ ඇති බවත් මාළු ප්‍රවාහනය කරන ලොරි රථයක රියදුරෙකු ලෙස අදාළ පුද්ගලයා කටයුතු කර ඇති බවත් පොලීසිය පවසනවා.

මිය ගිය පුද්ගලයාගේ දේහය පුත්තලම රෝහලට යොමු කර ඇති බවත්, එහිදී පීසීආර් පරීක්ෂණයක් සිදුකර වාර්තාව ලබා ගැනීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top