,
Covid-19

කොරෝනා ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් අද සිට නිවෙස් නිරෝධායනයට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 26 පස්වරු 6.36ට)

කොරෝනා වෛරසය ආසාදිත බවට හඳුනා ගන්නා පුද්ගලයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ඔක්තෝම්බර 26 වැනි දින සිට නිවෙස් නිරෝධායනය සඳහා යොමු කිරීමට පියවර ගන්නා බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරයි.

මීට දින දෙකකට පෙර ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මේ දක්වා සිදු කරගෙන ගිය නිරෝධායන ක්‍රමවේදය සම්බන්ධයෙන් සිදු කළ නැවත සමීක්ෂණයක ප්‍රතිඵල අද දිනයේ දී ජනාධිපතිවරයා වෙත ලබා දුන් බව ද යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා. ඒ අනුව මෙම තීරණය ගත් බවත් ඒ අනුව, ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව එම තීරණය ක්‍රියාත්මක කරන බවත් යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එලෙස නිවෙස් නිරෝධායනය සඳහා යොමු කරන පිරිස් නිවෙස් තුළම රැඳී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව ද යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවා.

එමෙන්ම, දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි අඛණ්ඩව එය ක්‍රියාත්මක කරන බවත් කිසියම් ප්‍රදේශයක ආසාදිතයින් වාර්තා වීමේ අඩුවක් පෙන්නුම් කළහොත් පමණක් ඇඳිරි නීතිය ඉවත් කිරීමට පියවර ගන්නා බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළා.

Rivira Ads
To Top