දේශීය පුවත්

විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ධූරයට

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 27 පෙරවරු 11.17ට)

නව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන පත් කර තිබෙනවා. විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරමින් සිටිය දී නව ධූරයට පත් කරනු ලැබ ඇත.

හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ එම ධූරයේ කැපී පෙනෙන සේවාවක් සිදු කිරීමෙන් පසු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත් කරනු ලැබීය. ඒ අනුව හිස් වූ ධූරයේ රාජකාරි අවරණය කිරීම සඳහා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සැළසුම්) විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් පත් කර තිබුුුුණා.

කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ පැතිරීම වැළැක්වීම සඳහා සුවිශේෂී කාර්යභාර්යක් සිදුකළ අනිල් ජාසිංහ එම ධූරයෙන් ඉවත් වීමත් සමග එම ධූරයට ස්ථිර නිලධාරියෙකු පත් නොවීම බොහෝ දෙනෙකුගේ විවේචනය පාත්‍ර විය.

ඒ අතර, හිස්ව තිබූ ධූරය සඳහා වන සම්මුඛ පරීක්ෂණ පසුගිය ඔක්තෝම්බර් 24 දින සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති අතර ඊට නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු ඇතුළු දස දෙනකු ඉදිරිපත් වී සිටි බව සෞඛ්‍ය ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලාල් පනාපිටිය, අමල් හර්ෂ ද සිල්වා, ලක්ෂ්මන් ගම්ලත්, ආනන්ද ජයලාල්, සුසී පෙරේරා, කුමාර වික්‍රමසිංහ සහ මහනුවර රෝහල් අධ්‍යක්ෂ සමන් රත්නායක, කළුබෝවිල රෝහල් අධ්‍යක්ෂ අසේල ගුණවර්ධන යන පිරිස ඒ සඳහා ඉදිරිපත් වූ බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කළා.

එම පිරිස අතරින් කළුබෝවිල රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන එම ධූරය සඳහා තෝරාගෙන ඊට අදාළ පත් කිරීම සිදුකර ඇත.

ඒ අනුව, රාජකාරි ආවරණය සඳහා පත් කර සිටි විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් යළි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් (සැළසුම්) ලෙස කටයුතු කරනු ලබයි.

එස්. ශ්‍රීධරන්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ධූරයේ රාජකාරි ආවරණයට

Rivira FB Group Rivira Youtube
To Top