,
Covid-19

හැටන් නගරයත් හුදෙකලා කරයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 27 පෙවරු 11.55ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් නගරය හුදකලා ප්‍රදේශයක් ලෙස නම් කිරීමට කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ඔක්තෝම්බර් 27 දින සිට නැවත දැනුම් දෙනතුරු එය ක්‍රියාත්මක කෙරෙන අතර එම ප්‍රදේශයට ඇතුල් වීම සහ පිටවීම සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය ආශ්‍රිතව හටගත් කොරෝනා පොකුරට අදාළව හැටන් නගරයෙන් තවත් නව ආසාදිතයින් 10 දෙනෙකු හඳුනාගැනීමත් සමග මෙම තීරණය ගෙන තිබෙනවා.

හැටන් නගරය ආශ්‍රිතව හඳුනාගත් පළමු ආසාදිතයා වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගෙන හැටන් නගරයේ මහජන පොළේ අලෙවි කළ වෙළෙන්ඳෙකු වේ. ඔක්තෝම්බර් 26 දින ඒ බව තහවුරු වී තිබුණා.

ඒ අනුව අදාළ පුද්ගලයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් 30 දෙනෙකු හඳුනාගෙන ඔවුන්ව පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී තවත් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එම ආසාදිතයින් දසදෙනා අතර පළමු ආසාදිත මාළු වෙළෙන්ඳාගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු, ඔහුගේ රථයේ රියදුරුු සහ හැටන් නගරයේ තවත් වෙළෙඳ ව්‍යාපාරිකයින් 05 දෙනෙකු ඇතුළත් බව හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා එම ප්‍රදේශය හුදෙකලා කිරීමට පියවරගෙන තිබෙනවා.

Rivira Ads
To Top