දේශීය පුවත්

ශවේන්ද්‍රට ඇමරිකාව තහනම් කළ පොම්පියෝ ශ්‍රී ලංකාවට පැමිණෙයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 27 පස්වරු 07.47ට)

ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මීට සුළු මොහොතකට පෙර දිවයිනට පැමිණ තිබෙනවා. ඔහුගේ දෙදින කෙටි නිල සංචාරය පැය 12කට පමණ සීමාවනු ඇති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

ඉන්දියාව හා ඇමෙරිකාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීම සඳහා ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඉන්දියාවට ගොස් ආපසු යන අතරවාරයේ තවත් රටවල් කිහිපයක කෙටි සංචාර සිදු කිරීමට නියමිත අතර ඒ හා සමගාමීව ශ්‍රී ලංකාව සංචාරයද සිදුවෙන බව වාර්තා වෙයි. මයික් පොම්පියෝ සමග එරට ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර්ද එක්වීමට නියමිතව තිබේ.

මෙම සංචාරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හමුවී සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාව සිටි රෙක්ස් ටිලර්සන් එම ධූරයෙන් ඉවත් කර 2018 මාර්තු මාසයේ දී ඇමරිකානු මධ්‍යම රහස් ඔත්තු සේවයේ (CIA) අධ්‍යක්ෂක මයික් පොම්පියෝ පත්කර කර තිබුණා.

කෙසේ වෙතත්, යුද හමුදාපති, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකාවට ඇතුල් වීම තහනම් කරමින් නියෝගය නිකුත් කළේ ද මයික් පොම්පියෝ යි. ට්විටර් ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසා තිබුණේ යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ඇති බැවින් එසේ සිදුකළ බවයි.

එම ට්විටර් පණිවුඩයේ සරල සිංහල පරිවර්ථනය පහතින්.

“ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධය පැවති කාලයේ දී අධිකරණ ක්‍රියාවලියකින් තොරව සිදුකරන ලද ඝාතනවලට සම්බන්ධ වීම නිසා ශවේන්ද්‍ර සිල්වා, එක්සත් ජනපදයට ඇතුළුවීමට නුසුදුසු අයෙකු ලෙස නම් කරමි. යුද අපරාධ සහ උල්ලංඝනය කිරීම් සිදුකරන අයට කරන අයට වගවීමට බල කිරීම සඳහා එක්සත් ජනපදය නොසැලී සිටියි.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඔක්තෝම්බර් 22 දින පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටියේ ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරටට පැමිණ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බැවින් එහිදී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාට එරෙහිව ඇමරිකාව විසින් පනවා ඇති ගමන් තහනම ඉවත් කිරීම පිළිබඳ සාකච්ඡා කරන ලෙසයි.

මීට පෙර, දෙදින සංචාරයක් සඳහා 2015 වසරේ මැයි මස 02 දින දිවයිනට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ආර්. සම්බන්ධන් හමුවී තිබුණා.

Rivira FB Group Rivira Youtube
To Top