කොවිඩ්-19

ඔක්. 29 රාත්‍රියේ සිට බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවයි

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 28 පස්වරු 01.30ට – updated)

කොවිඩ්-19 වෛරසයේ පැතිරීම පාලනය කිරීම සඳහා ඔක්තෝම්බර් 29 දින මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක වන පරිදි සමස්ත බස්නාහිර පළාතටම නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව, එම ඇඳිරි නීතිය නොවැම්බර් 02 සඳුදා පෙරවරු 05 දක්වා ක්‍රියාත්මක කෙරෙනවා. කෙසේ වෙතත් දැනටමත් ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීතිය සඳුදා පෙරවරු 05න් අවසන් නොවන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

නොවැම්බර් මස 02 වැනි දින උදෑසන 5.00ට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනු ලබන්නේ මෙම නිවේදනය නිකුත් කරන අවස්ථාව වන විට නිරෝධායන ඇඳිරි නීතිය පනවා නැති ප්‍රදේශයන්ට පමණක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව, දැනට නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්ගේ නිරෝධායන ඇඳරි නීතිය නොවැම්බර් මස 02 වැනි සඳුදා දින උදෑසන 05.00 න් පසුව නැවත දැනුම්දෙන තුරු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

එසේම සිකුරාදා දිනයේ බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන හෙයින් දැනට ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශයන්හි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධහල් හෙට (29) දින උදේ 08.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘත කර තැබිය යුතුය.

නොවැම්බර් මස 02වන දායින් පසුව, මිට කලින් නිවේදනය කරන ලද පරිදි එක් එක් දිස්ත්‍රික්කයන්හි ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ආහාර ද්‍රව්‍ය වෙළඳසැල් සහ ඖෂධහල් සතියට දින 02ක් විවෘත කිරීමට කටයුතු කරනු ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Rivira FB Group Rivira Youtube
To Top