(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 29 පස්වරු 04.25ට)
දකුණු ප්‍රංශයේ නගරයක් වන නයිස් හි පල්ලියක් අසලදී පිහි ප්‍රහාරයකින් තිදෙනෙකු මියගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට පොලිසිය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
නයිස් නගරයේ නගරාධිපති එම සිද්ධිය විස්තර කළේ ත්‍රස්ත ක්‍රියාවක් ලෙසයි. නගරාධිපති ක්‍රිස්ටියන් එස්ට්‍රෝසි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ පිහි ඇනුම නගරයේ නොට්‍ර ඩෑම් පල්ලිය ආසන්නයේ සිදුව ඇති බවත් පොලිසිය විසින් ප්‍රහාරකයා අත්අඩංගුවට ගෙන රඳවාගෙන ඇති සිටින බවයි.
පොලීසිය සඳහන් කර තිබුණේ ප්‍රහාරය හේතුවෙන් දෙදෙනෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර තවත් අයෙකු රෝහල්ගත කිරීමේ දී මියගොස් ඇති බවයි. එසේම බරපතල තුවාල ලැබූ පිරිසක් සහ සාමාන්‍ය තුවාල ලැබූ පිරිසක් ද රෝහල්ගත කර තිබෙනවා.
ප්‍රංශයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ආරක්ෂක හා ගලවා ගැනීමේ හමුදා එම ස්ථානයේ සිටින බවයි.
ප්‍රංශයේ ජාතික ත්‍රස්ත විරෝධී විමර්ශන ආයතනය විසින් මිනීමැරුම් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව ද මාධ්‍ය වාර්තා කර තිබෙනවා..
මෙය ඉස්ලාම් ෆැසිස්ට්වාදය හා සම්බන්ධ සිදුවීමක් බව නගරාධිපතිවරයා මාධ්‍යවේදීන් අමතමින් කියා සිටි අතර සැකකරු “අල්ලාහු අක්බාර්” (ශ්‍රේෂ්ඨතම දෙවියන් වහන්සේ අල්ලාහ් දෙවියන් වහන්සේ ය) යැයි නිමක් නැතිව පුන පුනා කියා ඇති බව ද සඳහන් කළේ ය.
නගරාධිපතිවරයා සඳහන් කළේ ඝාතනයට ලක්වූවන්ගෙන් එක් අයෙකු බැසිලිකාවේ භාරකරු බවයි. ප්‍රහාරය සිදුවන අවස්ථාවේ යාඥා කිරීමට පැමිණි පිරිස් දේවස්ථානය තුළ සිටි බවත්, නගරය විසින් පිහිටුවා ඇති විශේෂ ආරක්ෂණ පද්ධතිය හරහා අනතුරු ඇඟවීමක් සිදු කිරීමට එහි සිටි සාක්ෂිකරුවෙකු සමත් වී ඇති බවත් පසුව අනාවරණය වී ඇති බව ද නගරාධිපතිවරයා සඳහන් කළා.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ඉස්ලාම් විරෝධී න්‍යාය පත්‍රයක් අනුගමනය කරන බවට ඇතැමුන් විසින් චෝදනා කරමින් මුස්ලිම් ලෝකයේ සමහර රටවල් විසින් සිය පුරවැසියන් අතර කෝපය පැතිරවීමට කටයුතු කිරීම මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇතැයි විශ්ලේෂකයින් මත පළ කරනවා.
BBC/France24 වාර්තා ඇසුරින්

