කොවිඩ්-19

මහනුවර අකුරණ මුස්ලිම් දේවස්ථාන තාවකාලිකව වසා දැමේ, කඨිණ පිංකම් ගැනත් තීරණයක්

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 30 පස්වරු 06.27ට)

මහනුවර දිස්ත්‍රික්කයේ, අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති සියලුම මුස්ලිම් දේවස්ථානවල පැවැත්වෙන ආගමික කටයුතු නැවත දැනුම් දෙන තුරු අත්හිටුවීමට අකුරණ ප්‍රාදේශිය ලේකම් ඉන්දිකා කුමාරි අබේසිංහ උපදෙස් ලබා දී ඇත.

ජමියතුල් උලමා සභාව සමග සාකච්ඡා කර එම තීරණය ගෙන ඇති අතර කොවිඩ්-19 වෛරසය ආසාදිත අයෙකු එම ප්‍රදේශයෙන් හඳුනාගැනීමත් සමග මෙම තීරණය ගැනීමට සිදු වූ බව ප්‍රාදේශීය ලේකම්වරිය සඳහන් කළා.

එසේම ප්‍රදේශය තුළ ඇති සියලු බෞද්ධ විහාරස්ථානවල පැවැත්වීමට නියමිත කඨිණ පිංකම් සම්බන්ධයෙන් ද ප්‍රදේශයේ ශාසනාරක්ෂක බල මණ්ඩලය සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව ඇය සඳහන් කළා.

කෙසේ වෙතත් අදාළ ආසාදිතයා පිළිබඳ තොරතුරු වාර්තා වීමෙන් පසු ප්‍රදේශවාසීන් කලබලයට පත්ව ඇති බව අකුරණ ප්‍රාදේශිය සභාවේ සභාපති ඉෆ්තිකාර් ඉමාමුදීන් පැවසූ අතර ඔහු සඳහන් කළේ එසේ කලබල නොවී අවධානයෙන් කටයුතු කිරීම වැදගත් බවයි. එසේම සෞඛ්‍ය අංශ සහ බලයලත් ආයතන මගින් ලබා දෙන උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය. කොවිඩ්-19 පළමු රැල්ලේ දී ද මධ්‍යම පළාතේ මුල්ම ආසාදිතයා වාර්තා වූයේ අකුරණින් බව සිහිපත් කළ සභාපතිවරයා සඳහන් කළේ එම අත්දැකීම් ඇති බැවින් තම ප්‍රදේශයේ වෛරසය ව්‍යාප්ත වීමට ඉඩ නොදී පාලනය කිරීමේ වැඩි අවස්ථාවක් ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top