කොවිඩ්-19

පොලිස් නිලධාරීන් 60ට වෛරසය ආසාදිතයි, නිලධාරීන් 1,500ක් නිරෝධායනය කෙරේ

(RIVIRA.LK, 2020 ඔක්තෝම්බර් 31 පෙරවරු 10.50ට)

කොවිඩ්-19 වෛරසයේ පැතිරී යාමත් සමග ඔක්තෝම්බර් 31 සෙනසුරාදා දිනය වනවිට ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් 60 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සඳහන් කළා.

ඒ අනුව, එම නිලධාරීන්ගේ සමීපතම ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති නිලධාරීන් 400කට අධික පිරිසක් කළුතර සහ කුණ්ඩසාලේ පොලිස් විද්‍යාල තුළ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට යොමු කර ඇති බව ද ඔහු සඳහන් කළා.

එසේම කොවිඩ්-19 ආසාදිත නිලධාරීන්ගේ දෙවන හා තුන්වන පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇති තවත් පොලිස් නිලධාරීන් 1,100ක පමණ ප්‍රමාණයක් ඔවුන් දැනට සිටින බැරැක්ක තුළම නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

පොලිස් නිලධාරීන්ට වෛරසය ආසාදනය වීම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොල හරහා සිදුව ඇති බව අනාවරණය වී ඇතැයි පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ මුලින්ම වෛරසය ආසාදනය වී ඇත්තේ පොලිස් භෝජනාගාර පාලකවරුන්ට බවයි. ඔවුන් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොලෙන් මාළු මිල දී ගැනීමට ගිය පොලිස් නිලධාරීන් රැසකට වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත්, වෛරස් ආසාදිතයින් හෝ සැක සහිත පිරිස් සමග ගැටී රාජකාරී කරන පොලිස් නිලධාරීන්ට වෛරසය ආසාදනය වී නොමැති බව ඔහු සඳහන් කළා. ඔවුන්ට අවශ්‍ය පුර්වාරක්ෂක උපකරණ ලබා දී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top