Business

බැංකු අක්‍රීය කිරීමෙන් ජන ජීවිතයට දැඩි බාධා

(RIVIRA.LK, 2020 නොවැම්බර් 03 පස්වරු 01.57ට)

බස්නාහිර පළාතට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග බැංකු පාරිභෝගිකයින් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව වාර්තා වේ. ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමත් සමග මීට පෙර අවස්ථාවලදී බැංකු අත්‍යවශ්‍ය සේවා ලෙස ක්‍රියාත්මක කෙරුණ ද මෙවර බස්නාහිර පළාතේ බැංකු පද්ධතිය අක්‍රීය වීමෙන් මෙම ගැටළුවක ආරම්භ වී ඇති බව පාරිභෝගිකයින් පෙන්වා දෙයි.

ණය, ලීසී ඇතුළු බැංකු සේවා සඳහා ඉල්ලුම් කර තිබූ ඉල්ලුම්කරුවන්ට මෙතෙක් අදාළ සේවා නොලැබී ඇති අතර ඒ හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙනවා. මේ අතර බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පැනවීමත් සමග බැංකුවල ප්‍රධාන ශාඛා සහ වැදගත් ශාඛා අක්‍රීය කිරීමෙන් දිවයිනේ සෙසු පළාත් සඳහා ද මෙම බලපෑම සිදුවී ඇති බව දිවයිනේ විවිධ ප්‍රදේශවල පාරිභෝගිකයින් පෙන්වා දෙයි.

ඉල්ලුම් කර ඇති ණය පිළිබඳ බැංකුවලින් විමසීමේ දී ප්‍රධාන කාර්යාලය අක්‍රීය වීම හෝ ණය අංශය අක්‍රීය වී ඇති බැවින් එය කල්යනු ඇති බව බැංකුවලින් පවසන බව පාරිභෝගිකයෝ පෙන්වා සඳහන් කළා. එමගින් තම ව්‍යාපාර කටයුතු මෙන්ම සියලුම පුද්ගලික කටයුතු ද ඇණ හිට ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙම තත්වය තවදුරටත් මෙලෙස පැවතුනහොත් තම ව්‍යාපාර කඩා වැටෙන තත්වයකට පත්වන බව එම පාරිභෝගිකයෝ පෙන්වා දෙනවා. ඇතැමුන් පළමු කොරෝනා රැල්ලෙන් ව්‍යාපාර අහිමි වීමෙන් පසු පුද්ගලික ණය ඉල්ලුම් කර නව ව්‍යාපාර ආරම්භ කර ඇති බවත් ඒ සඳහා පොලියට ගැනීමෙන් සහ උගස් ණය ගැනීමෙන් මුලික ප්‍රාග්ධනය සපුරාගෙන ඇති බවත් අදාළ ණය මුදල් නොලැබීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දී ඇති බවත් පාරිභෝගිකයින් සඳහන් කරනවා.

ඔවුන් ඉල්ලා සිටින්නේ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ වුවත් අත්‍යවශ්‍ය සේවා ලෙස සළකා බැංකු ක්‍රියාත්මක කර රටේ ආර්ථිකය ස්ථාවර පවත්වාගෙන යාමට රජය ක්‍රියාකළ යුතු බවයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top