(RIVIRA.LK, 2020 නොවැම්බර් 04 පස්වරු 06.46ට)
මොනරාගල බන්ධනාගාරය තුළ නොවැම්බර් 03 දින සිදුව ඇති සිදුවීමකින් පසු රැඳවියෙකු මියගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ එම බන්ධනාගාරයේ එක් රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියෙකු පහර දී කලහකාරී ලෙස හැසිරී ඇති බවයි. එම රැඳවියාගේ පහර දීමෙන් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරියෙකු මොනරාගල රෝහලට ඇතුළත් කළ බව ද ඔහු සඳහන් කළා.
ඒ අනුව “තත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය අවම බලය භාවිතා කිරීමේ දී” අදාළ රැඳවියා ද තුවාල ලබා ඇති බවත් පසුව මොනරාගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව රැඳවියා මියගොස් ඇති බවත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළා.
එසේම එම තත්වයත් සමග මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි සම්බන්ධයෙන් රඳවා සිටින රැඳවියන් අනෙකුත් රැඳවියන්වත් පොළඹවමින් කලකහකාරී තත්වයක් ඇති කිරීමට උත්සාහ ගෙන ඇති බවත් එහිදී සිර මැදිරිවල දොර අගුළු කඩා දමා තිබූ බවත් ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකෙරෙන බව පැවසූ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටියේ නිලධාරීන් විසින් බලය අයුතු ලෙස භාවිතා කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද අවශ්‍ය පියවර ගන්නා බවයි.

