කොවිඩ්-19

රැපිඩ් පරීක්ෂණ කට්ටල ලක්ෂ 2ක් ආනයනය කෙරේ, කර්මාන්ත සේවකයින් පරීක්ෂාවට යොදා ගැනීමට නියමිතයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 06 පෙරවරු 09.22ට)

කොවිඩ්-19 වෛරසය වැළඳී ඇත්දැයි පරීක්ෂා කිරීමට ලොව පිළිගත් ක්‍රමය වන්නේ පීසීආර් පරීක්ෂණයක් සිදු කිරීමයි. එමගින් වෛරසය ආසාදිත වී තිබෙනවා ද යන්න වඩාත් නිවැරදිව දැනගත හැකියි. නමුත් බොහෝ රටවලට පීසීආර් පරීක්ෂණ සිදු කිරීම සඳහා වැයවන මුදල දැරිය නොහැකි වීම හේතුවෙන් අඩු පරීක්ෂණ ප්‍රමාණයක් සිදු කිරීමට සිදුව ඇත. පීසීආර් පරීක්ෂණයක් සඳහා රජයට රු.4,500ත් 6,000ත් අතර පිරිවැයක් දැරීමට සිදුවන බව ද වාර්තා විය.

මීට විකල්ප ක්‍රමවේදයක් ලෙස “rapid antigen test” හෙවත් මිනිත්තු 20ක් වැනි කාලයක් තුළ දී ප්‍රතිඵල ලබා ගත හැකි “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය” යොදා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

රැපිඩ් පරීක්ෂණ කට්ටලක මිල රු.1,200ක් පමණ වන අතර විනාඩි 20 පමණ කාලයකින් ප්‍රතිඵල ලබා ගත හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. කෙසේ වෙතත් මේ වනවිට එම යොදා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළා.

යම් පුද්ගලයෙක් කොවිඩ් -19 ආසාදිතයකු ද? නැද්ද? යන්න තහවුරු කරගැනීම සඳහා කළ යුත්තේ පීසීආර් පරීක්ෂණයක් වන අතර යම් පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාදිතයකු විය හැකිද? නැද්ද? යන්න පමණක් රැපිඩ් පරීක්ෂණයකින් දැනගත හැකිවනු ඇත.

විශාල පිරිසක් එකවර පරික්ෂා කිරීමේ දී මෙම ක්‍රමය වඩාත් සාර්ථක විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක පවසනවා. මෙම ක්‍රමවේදයේ දී යම් පුද්ගලයෙකුගෙන් ලබාගන්නා සාම්පල එම ස්ථානයේදීම අදාළ පරික්ෂණ කට්ටලයේ ඇති රසායනික සංයෝග සමග මිශ්‍රකර විනාඩි කිහිපයක් තිබෙන්නට හැරීමෙන් එම පුද්ගලයා ආසාදිතයෙකු විය හැකි ද යන්න දැනගත හැකිවේ.

කෙසේ වෙතත්, පසුගිය කාලය තුළ පීසීආර් පරීක්ෂණ යන්ත්‍රයක් ක්‍රියාවිරහිත වීමත් සමග විශාල සාම්පල ප්‍රමාණයක් ගොඩ ගැසී තිබුණි. ඒ සමගම සාම්පලයකින් ප්‍රතිඵල ලබා ගැනීමට දින 03ක් පමණ ගතවන තත්වයක් ද පැවතුණි.

ඒ අනුව, ඊට අදාළ රැපිඩ් පරීක්ෂණ කට්ටල ලක්ෂ 10ක් මෙරටට ආනයනය කිරීමට පියවරගෙන ඇති අතර ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගම මගින් එම පරීක්ෂණ කට්ටල ගෙන්වීමට තීරණය කර ඇතැයි ද ආරංචි මාර්ග පවසයි. ඒ අනුව, දකුණු කොරියාවේ සෝල් සිට එම පරීක්ෂණ කට්ටලවලින් කට්ටල ලක්ෂ 2ක් නොවැම්බර් 05 දින ශ්‍රී ලංකන් ගුවන් සේවය භාවිතා කරමින් එම සමාගම විසින් මෙරටට ගෙන්වා තිබෙනවා. ඊට ශ්‍රී ලංකන් ගුවන් සේවය මගින් ස්තූති කරමින් ෆේස්බුක් සටහනක් ද තබා තිබෙනවා.

අද දෙරණ පවසන පරිදි එලෙස ගෙන ආ පරීක්ෂණ කට්ටල යොදාගැනීමට අපේක්ෂා කරන්නේ ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලය සහ අපනයන සංවර්ධන මණ්ඩලය යටතේ ඇති කර්මාන්ත ආයතනවල ලක්ෂ 8කට ආසන්න සේවකයන් පරීක්ෂා කිරීමටයි. කර්මාන්ත අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම එහි අපේක්ෂාව වී ඇති බව පැවසේ. එසේම විශාල සේවක පිරිසක් පරීක්ෂා කළ යුතු බැවින් මේ සඳහා එම ක්‍රමය වඩාත් සාර්ථක බවට මත පළ වෙයි.

එහෙත්, මෙම කට්ටල ලක්ෂ දෙක සෞඛ්‍ය අමාත්‍යංශයේ මැදිහත් වීමෙන් ගෙන එන ලද පරීක්ෂණ කට්ටල ද යන්න මෙතෙක් තහවුරු කර නැති අතර මීට අදාළ ටෙන්ඩර් පරිපාටිය පිළිබඳව ද අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා.

කෙසේ වෙතත්, මෙම රැපිඩ් පරීක්ෂණ කට්ටල ගෙන්වීම සම්බන්ධයෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර සඳහන් කළේ මෙය ගජ මිතුරු සමාගමක් හරහා සිදුවන බවයි. වසංගතය වසන්තයක් කර ගැනීමට කරනු ලබන උත්සාහයක් බවට ද මන්ත්‍රීවරයා චෝදනා කර සිටියා.

Rivira FB Group Rivira Youtube
To Top