කොවිඩ්-19

නිධන්ගත රෝග ඇති අය දිගින් දිගටම බෙහෙත් ගැනීම අත්‍යවශ්‍යයි – සෞඛ්‍ය අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 07 පස්වරු 05.36ට)

වත්මන් කොවිඩ් – 19 වසංගත තත්ත්වයේ පවතින අවදානම සැලකිල්ලට ගනිමින් හැකිතාක් නිවසටම වී රැඳී සිටීමට කටයුතු සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාංඥ වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි. අත්‍යාවශ්‍ය කරුණකට හැර නිවසින් බැහැර නොයන ලෙස වෛද්‍යවරයා ඉල්ලා සිටියි.

විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මේ බව සඳහන් කළේ, වත්මන් කොවිඩ් – 19 තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදිය.

එමෙන්ම, නිවසෙහි වැඩිහිටියන් හා නිධන්ගත රෝග පවතින පුද්ගලයින් සිටියි නම් ඔවුන් අදාළ රෝගයන් සඳහා දිගින් දිගටම බෙහෙත් ලබා ගැනීම අනිවාර්ය වේ. පවතින තත්ත්වය අනුව, සායනවලට සහභාගී නොවන ලෙස පැවසූ බැවින් පෙර පරිදි දිවයින පුරා රජයේ රෝහල්වල සායන සඳහා ලියාපදිංචි වූ රෝගීන්ට අදාළ ඖෂධ නිවසටම ලබා දීමට ඔක්තෝම්බර් 07 වැනි දින සිට කටයුතු සලසා ඇති බව ද වෛද්‍යවරයා සඳහන් කරයි.

අදාළ ක්‍රමවේදයන්ට අනුව, ඖෂධ ලබා ගැනීමට නොහැකි වුවහොත් නිවසේ සිටින තරුණ, නිධන්ගත රෝග නොමැති අයෙකුට තම සායනික සටහන් වාර්තාව ලබා දී රෝහලට ගොස් අදාළ ඖෂධ ලබා ගැනීමේ හැකියාව පවතින බවද වෛද්‍ය සුදත් සමරවීර සඳහන් කරයි.

එමෙන්ම, පිළිකා රෝගීන්ට ද අවශ්‍ය ඖෂධ සියල්ල ළඟම පිහිටි පිළිකා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් ලබා ගත හැකි බව ද සඳහන් කරයි.

මේ අතර, ඔක්තෝම්බර් 07 වැනි දින හඳුනාගාත් ආසාදිතයින් අතර 40 දෙනෙකු කොළඹ මහ නගරසභා සීමාවෙන් ද, වැලිකඩ බන්ධනාගාරයේ රෝගීන් 30ක්, පොලිස් නිලධාරීන් 29 දෙනෙක්, වත්තල පිහිටි කර්මාන්තශාලාවේ රෝගින් 54 දෙනෙකු වාර්තා වූ බව වෛද්‍යවරයා එහිදී පැවසුවා.

තවද, පසුගිය දිනවල ආරම්භ කළ පළමු පෙළ ආශ්‍රිතයින් නිවසේ නිරොධායනයට යොමු කිරීම සම්බන්ධව ද වෛද්‍යවරයා මෙහිදි පැහැදිලි කිරීමක් සිදු කළා. එහිදී, නිරෝධායනයට අවශ්‍ය පරිසරයක් නොමැති නම්, නිධන්ගත රෝග පවතින හෝ වැඩිහිටියෙකු නිවසේ සිටි නම්, පිළිකා රෝගියෙකු නිවසේ සිටියි නම් අදාළ පුද්ගලයාව නිරෝධායන කටයුතු සඳහා නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීමට කටයුතු කරන බව පැවසුවා.

එමෙන්ම, මීට පෙර ආසාදිතයින් රෝහලෙන් පිටව යාමට පෙර දින 10 – 14ත් ඇතුළත කාලය තුළ පීසීආර් පරීක්ෂණයක් සිදු කර තිබේ. කෙසේ වෙතත්, නව ක්‍රියාපටිපාටියට අනුව රෝග ලක්ෂණ නොමැති ආසාදිතයින් යොමු කරන්නේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට බවත් ඔවුන් පීසීආර් පරීක්ෂණයක් සිදු නොකර රෝහලෙන් පිටව යාමට කටයුතු සලස්වන බවත් වෛද්‍යවරයා පවසයි.

මෙයට හේතුව ලෙස ඔහු සඳහන් කළේ, ලෝකයේම තිබෙන වෛද්‍ය විද්‍යාත්මක කරුණු අනුවත් අපේ රටේ ඇති අත්දැකීම් අනුවත් දින 10- 14ත් කාලය තුළ රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින්ගෙන් රෝගය පැතිරීමේ අවදානමක් නොමැති වීම බවයි. එබැවින් එවැනි රෝග ලක්ෂණ නොමැති රෝගින්ට පීසීආර් පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව වෛද්‍යවරයා සඳහන් කරයි.

Rivira FB Group Rivira Youtube
To Top