විදේශ

ඇමරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩන්ට ජය, 290ට 214ක් ලෙස බයිඩන් ඉදිරියෙන්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 07 පස්වරු 11.00ට)

ඇමරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂක ජෝ බයිඩන් ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වනු ඇති බවට ෆොක්ස් නිවුස් පුවත් සේවය තහවුරු කරයි. වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරාජය කර ධවල මන්දිරයට යාමට ජෝ බයිඩන් සමත් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප්ට වැඩි වාසි තිබූ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ද ජයග්‍රහණය සියතට ගනිමින්.

ප්‍රතිඵල ලැබීමට නියමිතව තිබූ ප්‍රාන්ත නෙවාඩා, පෙන්සිල්වේනියා, උතුරු කැරොලිනා, ජෝර්ජියා සහ ඇලස්කා යන ප්‍රාන්ත අතුරින් නෙවාඩා සහ පෙන්සිල්වේනියා ජයග්‍රහණය ජෝ බයිඩන් හිමිකරගනු ඇති බව ෆොක්ස් නිවුස් වෙබ් අඩවිය මේ වනවිට ගණන් බලා තිබෙනවා.

ඒ අනුව, ඡන්ද විද්‍යාල 264ක ජයග්‍රහණය තහවුරු කරගෙන සිටි ජෝ බයිඩන් නෙවාඩා ප්‍රාන්තයේ ඡන්ද විද්‍යාල 06ත් පෙන්සිල්වේනියා හී ඡන්ද විද්‍යාල 20ත් ජයග්‍රහණය කරනු ඇති අතර ඒ අනුව, ඡන්ද විද්‍යාල 290ක ජයග්‍රහණය ලබා ගැනීමට නියමිතයි.

ජනාධිපතිවරණය ජය ගැනීමට අවශ්‍ය ඡන්ද විද්‍යාල ප්‍රමාණය ඡන්ද විද්‍යාල 538න් 270කි.

ඩොනල්ඩ් ට්‍රම්ප් මෙතෙක් දිනාගෙන ඇත්තේ ඡන්ද විද්‍යාල 214ක් පමණයි. ඉතිරි ප්‍රාන්ත 03 වන උතුරු කැරොලිනා ප්‍රාන්තයේ සහ ඇලස්කා ප්‍රාන්තයේ ට්‍රම්ප් ඉදිරියෙන් සිටින අතර ජෝර්ජියා ප්‍රාන්තයේ ද ඉදිරියෙන් සිටින්නේ බයිඩන් වේ. ජෝර්ජියා ප්‍රාන්තයේ දී අපේක්ෂකයින් දෙදෙනා ලැබූ ප්‍රතිශතය සමාන වීම හේතුවෙන් එහි නැවත ගණනයක් සිදු කිරීමට ප්‍රාන්ත බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව, 78 හැවිරිදි ජෝ බයිඩන් ඇමරිකාවේ 46 වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වනු ඇති අතර තේරී පත්වූ ජනාධිපති ජෝ බයිඩන් 2021 ජනවාරි මස 20 දින සිය ධූරයේ රාජකාරි භාර ගනු ඇත.

Rivira FB Group Rivira Youtube
To Top