කොවිඩ්-19

මුස්ලිම් වැසියන්ගේ භූමදාන අයිතිය වෙනුවෙන් අලි සබ්රි දැඩි සටනක

(RIVIRA.LK, 2020 නොවැම්බර් 09 පස්වරු 12.00ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වීමෙන් මියයන මුස්ලිම් ජාතික පුද්ගලයින්ගේ සිරුරු භූමදානය කිරීම සඳහා ඇති හැකියාව පිළිබඳ සොයාබලන ලෙස තමා අදාළ අංශ වෙතින් නිල වශයෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි සඳහන් කළා.

අමාත්‍යවරයා යළි අවධාරණය කර සිටින්නේ, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වෛරසය ආසාදිත මෘත දේහ භූමදානය කිරීම සඳහා අවසර ලබා දී ඇති අතර දැනට රටවල් 189ක එය සිදුකිරීමට පියවරගෙන ඇති බවයි.

අමාත්‍යධූරයට පත්වීමට ප්‍රථමයෙන් ද ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රි මෙම සටනේ පෙරමුණ ගනිමින් සඳහන් කළේ විද්‍යාත්මක ලෙස ආදාහනය කිරීම පිළිගෙන ඇති බවයි.

තමන් අමාත්‍යධූරයට පත් වූ පසුව ද මීට අවශ්‍ය වටපිටාව සකස් කරදෙන ලෙස විශාල ඉල්ලීම් ප්‍රමාණයක් තමන්ට ලැබෙන බවත් තමන්ට ලැබෙන ඇමතුම්වලින් 99%ක් ඒ සම්බන්ධ ඉල්ලීම් බවත් ඇමතිවරයා පෙන්වා දුන්නා.

මෙම ගැටළුව මුස්ලිම් ජනතාවට ඇති සාධාරණ ප්‍රශ්නයක් සාධාරණ විදියට ඉදිරිපත් කිරීමක් බවත් එවැනි සාධාරණ ඉල්ලීමක් සිදුකිරීම “අන්තවාදී වීමක්” නොවන බවත් ඇමතිවරයා කියා සිටියා.

එසේම වෛරසය මෙරටට පැමිණි කාලයේ දී වෛරසයේ හැසිරීම පිළිබඳ නිශ්චිත අවබෝධයක් නොතිබූ බැවින් සියලු සිරුරු ආදාහනය කිරීමට තීරණය කළත් මේ වනවිට වෛරසය සම්බන්ධයෙන් ප්‍රාමාණික දැනුමක් තිබීම හේතුවෙන් විද්‍යානුකූලව මෙම ගැටළුවට විසඳුම් දිය යුතු බවත් අමාත්‍ය අලි සබ්රි පවසනවා.

මෙය කිසිසේත්ම රටේ නිරෝධායන නීතියට අභියෝග කිරීමක් නොවන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

වැඩිදුර කියවන්න

Rivira FB Group Rivira Youtube
To Top