(RIVIRA.LK, 2020 නොවැම්බර් 11 පෙරවරු 10.36ට)
කොවිඩ්-19 ආසාදිතයින් හඳුනාගැනීම සඳහා භාවිතා කිරීමට නියමිත “රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට්” හෙවත් “ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය” සිදු කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් පසුගිය කාලය මෙරට සමාජයේ දැඩි කතාබහක් ඇති විය.
ඊට ප්‍රධානතම හේතුව වූයේ අදාළ පරීක්ෂණය සිදු කිරීමට අවශ්‍ය පරීක්ෂණ කට්ටල මෙරට දී භාවිතා කළ හැකි ද යන සහතිකය නිකුත් කිරීමටත් පෙර එම කට්ටල විශාල ප්‍රමාණයක් ආනයනය කිරීම සහ එය ආනයනය කළ පෞද්ගලික සමාගම පිළිබඳ ඇතැම් පිරිස් විවිද මත පළ කිරීම හේතුවෙනි. කෙසේ වෙතත්, නොවැම්බර් 10 දින එම “rapid antigen test – ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණය” මෙරට දී සිදු කළ හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශ කර තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක ඒ බව තහවුරු කරමින් සඳහන් කළේ රසායානාගාර පරීක්ෂාවෙන් පසු ඊට අදාළ නිර්දේශය තාක්ෂණික කමිටුවෙන් ලබා දී ඇති බවයි.
ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයට අදාළ ක්‍රියාවලිය සිදුකිරීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් ද සකස් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබා දුන් බවත්, එම සියලු වාර්තා සළකා බැලීමෙන් අනතුරුව රට තුළ භාවිතා කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අනුමැතිය ලබා දීමට නියමිත බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළා.
යම් පුද්ගලයෙක් කොවිඩ් -19 ආසාදිතයකු ද? නැද්ද? යන්න තහවුරු කරගැනීම සඳහා කළ යුත්තේ පීසීආර් පරීක්ෂණයක් වන අතර යම් පුද්ගලයෙකු කොවිඩ්-19 ආසාදිතයකු විය හැකිද? නැද්ද? යන්න පමණක් රැපිඩ් පරීක්ෂණයකින් දැනගත හැකිවනු ඇත.

