කොවිඩ්-19

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලීමක්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 12 පස්වරු 03.45ට

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි වහාම සිය අමාත්‍ය ධූරයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලමින් මහජන යුතුකම් කේන්ද්‍රයේ සභාපති පූජ්‍ය ජඹුරේවල චන්දරතන හිමියන් විසින් නොවැම්බර් 11 දිනැතිව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

ජනතා නියෝජිතයෙකු ලෙස මහජන ඡන්දයෙන් තේරීපත් නොවුණු මන්ත්‍රීවරයෙක් අධිකරණය පිළිබඳ කැබිනට් අමාත්‍යධූරය ලබා දෙන අවස්ථාවේ එයට විරුද්ධත්වය ප්‍රකාශ නොකලේ එයින් යම් යහපතක් රටට සිදු වේ යැයි සිතමින් බවත්, නමුත් අද වන වනවිට අධිකරණ ඇමැතිවරයා මූලධර්මවාදී කල්ලි කණ්ඩායම්වල නියෝජිතයෙක් ලෙස කටයුතු කිරීම කොතරම් සදාචාරාත්මක දැයි නීතියානුකූලදැයි ජඹුරේවල චන්දරතන හිමියන් විසින් අදාළ ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

අදාළ ලිපිය භාර දීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජඹුරේවල චන්දරතන හිමියන් කොරෝනා වෛරසය වැළඳී මිය යන මුස්ලිම් ජනයා භූමිදානය කිරීමට ඉල්ලීම ආගමික මූලධර්මවාදීන්ගේ ඉල්ලීමක් බවත් එයට තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් එහිදි සඳහන් කළා.

” අද වෙනකොට අධිකරණ ඇමතිවරයා විදියට කළ යුත්තේ, රටේ ජීවත්වන සියලු ජාතීන් පොදු නීති පද්ධතියක් තුළට අවනත කර ගැනීම සඳහා වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමයි. නමුත් මේ අධිකරණ ඇමතිවරයා කරන්නේ තමන් නියෝජනය කරන ආගමට, තමන් නියෝජනය කරන ජාතියට විශේෂ සැලකිල්ලක් ලබා දීම පිණිස ඒ ආගමික මූලධර්මවාදීන්ගේ නියෝජිතයා විදියට අද වෙනකොට අධිකරණ ඇමතිතුමා කටයුතු කරන බවක් පේනවා. ඒ නිසා වහාම මේ පුද්ගලයාව මේ තනතුරෙන් ඉවත් කරලා සුදුසු කෙනෙක්ට එම තනතුර දෙන ලෙසත් අද දවසේ අපි ලිඛිතව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියා” යැයි සඳහන් කළා.

කොවිඩ් – 19 හේතුවෙන් මිය යන පුද්ගලයින් භූමදානය කිරීම, ආගමික මූලධර්මවාදී ඉල්ලීමක් බැවින් එයට බරපතළ විරුද්ධත්වය ප්‍රකාශ කරන බවත්, අන්තවාදය, ත්‍රස්තවාදය හා ආගමික මූලධර්මවාදය පරාජය කර ‘එක් රටක් – එක් නීතියක්’ නිර්මාණය කිරීම වෙනුවෙන් ජනාධිපතිවරයා පත්කිරීමට හා 2/3 ආණ්ඩු බලයක් ලබා ගැනීමට උපකාර වූ ජනතාවගේ බලාපොරොත්තුව මෙය නො වන බව ද අදාළ ලිපිය මඟින් උන්වහන්සේ ජනාධිපතිවරයා වෙත දන්වා තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් ජඹුරේවල චන්දරතන හිමියන් පැවසුවේ, “කොවිඩ් – 19 වැළඳී මිය යන ‘මුස්ලිම් ජාතිකයින් ආදාහනය නොකළ යුතුයි. භූමිදානය කළ යුතුයි’ කියන සෑම කෙනෙක්ම ආගමික අන්තවාදියෙක් විදියටයි සලකන්න පුළුවන්වෙලා තියෙන්නේ. මුළු ලෝකයම වසංගතයකින් පීඩා විඳින තත්ත්වයකදී වුනත් වෛද්‍ය විද්‍යාවට විද්‍යාත්මක කරුණු වලට ඉඩක් කඩක් දෙන්නේ නැතිව තමන්ගේ ආගමික සම්ප්‍රදායේ සිරිත් විරිත් ආරක්ෂා කර ගන්න උත්සාහ කරනවා නම් ඒ වගේ අයට තමයි මූලධර්මවාදියෝ කියලා කියන්නේ.

ඒ නිසා ජනාධිපතිතුමා යම් ආකරයකින් මේ දේහයන් භුමදානය කරන්න අවස්ථාව ලබලා දෙනවා නම් ඒ සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවගේ හඬට කන්දීමක් නෙමෙයි. ඒ ආගමික මූලධර්මවාදීන්ගේ හඬට කන්දීමක් හැටියටයි අපි සලකන්නේ. ඒ නිසා අපේ විරුද්ධත්වයක් අද දවසේ අපි ප්‍රකාශ කළා” යනුවෙනි.

විශේෂයෙන් ම වසංගත තත්වය පදනම් කොටගෙන මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේ හා දායක පිරිස් විසින් ඉතිහාසය කුමන තත්ත්වයකදී වුවත් නොවෙනස්ව පවත්වාගෙන ආ මහනුවර දළදා පෙරහැර, උපසම්පදා විනය කර්මය, කඨින චීවර පූජාව, වෙසක් උත්සවය, පොසොන් උත්සවය ආදී පින්කම් මෙන්ම පාංශකූල පවා නවතා දමමින් වසංගතය මර්දනය කිරීමට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් සිටින බවත් උන්වහන්සේ එම අවස්ථාවේ දී පැහැදිලි කළා. කතෝලික හා දෙමළ ප්‍රජාවද එලෙස තම චාරිත්‍ර වාරිත්‍ර පාලනය කරමින් වසංගතය මර්දනය කිරිමට සහයෝගය ලබා දෙන නමුත් අන්තවාදී පිරිස් සාම්ප්‍රදායික මුස්ලිම් ප්‍රජාවත් අගාධයට පත් කරමින් සිටින බව උන්වහන්සේ සඳහන් කළා.

“විශේෂයෙන්ම මේ රටේ අනාදිමත් කාලයක ඉඳලා අඛණ්ඩව, නොකඩවා පවත්වාගෙන ආපු, විශේෂයෙන් මහනුවර ඇසළ පෙරහැර, භික්ෂූන් වහන්සේලාගේ උපසම්පදා විනය කර්ම,වෙසක් පොසෙන් පොහොය උත්සව, ඒ වගේම කඨින පිංකම් මේ සියල්ලක්ම බෞද්ධ සමාජය භික්ෂූන් වහන්සේලා කොවිඩ් – 19 හේතුවෙන් පාලනයකට යටත් කළා සහ සමහර දේවල් මුළුමනින්ම නොකර හැරියා. කතෝලික සමාජයත් එහෙමයි. දෙමළ සමාජයත් එහෙමයි. ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ චාරිත්‍ර වාරිත්‍ර මේ කොවිඩ් – 19 හමුවේ යම් පාලනයක් ඇතුව නූතන විද්‍යාත්මක කරුණු මත පදනම් වෙමින් තමයි සිදු කළේ. නමුත් මුස්ලිම් ජනතාව විතරක් කියනවා නම් ඒ කියන වෛද්‍ය විද්‍යාත්මක පදනමට අවනත වෙන්නේ නැතුව තමන්ගේ සිරිත් විරිත් අඛණ්ඩව ඉදිරියට කරගෙන යන්න ඕනේ කියලා ඒ කියන පිරිස සාම්ප්‍රදායික මුස්ලිම් ජනතාවත් අගාධයට පත් කරන අන්තවාදී පිරිසක් කියලා අද දවසේ ලිඛිතව අපි ජනාධිපතිතුමාට භාර දුන්නා”

තවද, කොවිඩ් ආසාදිත රෝගින්ගේ දේහයන් භුමදානය කිරිම සඳහා සෞඛ්‍ය අංශයේ නිර්දේශයන් ලබා දී ඇති බවට අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ අසත්‍යය ප්‍රකාශයක් බවත් උන්වහන්සේ සඳහන් කළා.

“මහින්ද අමරවීර මහත්මා ඊයේ කිව්වා මේ දේහයන් භූමදානය කරන්න සෞඛ්‍ය අංශයේ නිර්දේශයන් ලැබිලා තියෙනවා කියලා. එය ඉතාම අසත්‍ය ප්‍රකාශයක් බව අපි මේ අවස්ථාවේ කියනවා. සෞඛ්‍ය අංශ කිසිදු ආකාරයකින් තීරණයක් තවමත් මේ පිළිබඳව ලබා දී නැහැ. මීට පෙර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස අනිල් ජාසිංහ මහත්මා ඉන්න කාලේ ආදාහනය සහ භුමදානය පිළිබඳව ලබලා දුන්න නිර්දේශයන් පමණයි තවදුරටත් ක්‍රියාත්මක වෙන්නේ. මේ සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් නොකර අලි සබ්‍රි මහත්මාගේ අවශ්‍යතාවය අනුව කටයුතු කරන බවක් අපට පේනවා”

මහජන යුතුකම් කේන්ද්‍රය මඟින් ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද ලිපිය පහතින් දැක්වේ.

Rivira FB Group Rivira Youtube
To Top