Covid-19

වාර්ගික පදනමක් මත සබ්රිට පහරදීම වැරදි හා මෝඩ වැඩක් – මහාචාර්ය චරිත හේරත්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 12 පස්වරු 06.36ට)

කොවිඩ්-19 වෛරසයෙන් මිය යන මුස්ලිම් ප්‍රජාවගේ මෘත දේහයන් භූමදානය කිරීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන ක්‍රියා කරන අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ මොහොමඩ් අලි සබ්රිගේ ක්‍රියකලාපය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු සිය අදහස් පළ කර තිබෙනවා.

මේ අතර පූජ්‍ය ජඹුරේවල චන්දරතන හිමියන් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබුණේ අලි සබ්රි අමාත්‍යවරයා මූලධර්මවාදීන්ගේ නියෝජිතයෙකු ලෙස කටයුතු කිරීම කණගාටුදායක බැවින් ඔහුව අමාත්‍යධූරයෙන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයෙන් ද ඉවත් කරන ලෙසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අධිකරණ අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබෙනවා.

මහාචාර්ය චරිත හේරත් පවසන්නේ අලි සබ්රිට වාර්ගික පදනමක් මත පහරදීම හෝ ඒ පදනමින්ම චෝදනා කිරීම “වැරදි වැඩක්” බවයි. එසේම සිංහල බෞද්ධ මතවාදය අනුවත් එම පහරදීම “මෝඩ වැඩක්” බව ඔහු පවසනවා. එසේම සබ්රි සහ ඉමිතියාස් වැනි අය “ලිබරල් මුස්ලිම්වරුන්” ලෙස හඳුන්වන මහචාර්යවරයා පෙන්වා දෙන්නේ ඔවුන් සමගත් ඇවිලුනහොත් ඉතිරි වන්නේ මූලධර්මවාදීන් පමණක් බවයි. එම පණිවුඩය පහතින්.

“සබ්රීට වාර්ගික පදනමක් මත පහරදීම හෝ ඒ පදනමින් ඔහුට චෝදනාකිරීම ඉතාමත් වැරදි වැඩක්. එපමණක් නොවෙයි එය මේ මොහොතේ සිංහල බෞද්ධ මතවාදය පැත්තෙන් උපක්‍රමිකවත් හරිම මෝඩ වැඩක්. සබ්රී/ ඉමිතියාස් වැනි ලිබරල් මුස්ලිම්වරුන් එක්කත් අපි ඇවිලෙනවානම් අපිට ඉතිරි වෙන්නේ මූලධර්මවාදීන් පමණයි. #SriLanka”

Rivira FB Group Rivira Youtube
To Top