,
News

2020 විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් අගමැති මහින්ද ඉදිරිපත් කළ වැදගත් කරුණු

(RIVIRA.LK, 2020 නොවැම්බර් 12 පස්වරු 09.15ට)

“සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ රජය වෙළඳපළ සීමාවන්ද හඳුනාගෙන රාජ්‍ය අංශයේ පුළුල් කාර්යභාරය ඉටුකිරීමට කැපවූ රජයක් ලෙස ක්‍රියාත්මක වන බවත් අනපේක්ෂිත කොරෝනා දෙවන රැල්ලේ බලපෑමද සහිතව මරණ සංඛ්‍යාව වැඩි වුවත් අපට වඩා ඉදිරියෙන් ඇති බොහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතය සියයට බිංදුවයි දශම තුනක (0.3) තරම් අඩු මට්ටමක තබා ගනිමින් රෝග මර්නදය හා නිරෝධායන ක්‍රියාවලිය‍ෙ ඉදිරියෙන් සිටිමට හැකි වී තිබෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.

එයට ප්‍රධාන හේතුව අප රටේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය පද්ධතිය හා සෞඛ්‍ය සේවාව බවද අග්‍රාමාත්‍යවරයා පවසයි. අගමැති මහින්ද රාජපක්ෂ මෙම අදහස් පළ කළේ, 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම නොවැම්බර් 15 දින සිදුවන අවස්ථාවේ දීය.

කොරෝනා රෝගීන් හඳුනාගැනීම, නිරෝධායනය නියමු පරීක්ෂණ හා ආශ්‍රිත සුභසාධන කටයුතු සඳහා රජය මේ වන විට වියදම් කර ඇති මුදල් ප්‍රමාණය රුපියල් මිලියන 70,000 පමණ වන බව ද අගමැතිවරයා එහිදි අනාවරණය කළා.

රෝග නිවාරණ කටයුතු සඳහා කොළඹට පමණක් සීමා වී තිබූ රෝහල් ධාරිතාවය වසරකටත් අඩු කාලයකින් දිවයිනේ විවිධ ප්‍රදේශද ආවරණය වන පරිදි රෝහල් 17 දක්වා වැඩිකර තිබෙන බවද රෝගයට ගොදුරු වූවන් සඳහා විශේෂ ප්‍රතිකාර කිරීමේ ඇඳන් සංඛ්‍යාව 600ක් පමණ මට්ටමකට වැඩි කළ බවත් අගමැතිවරයා සඳහන් කළා.

රෝග පරීක්ෂා කිරීමේ PCR ධාරිතාවය දිනකට 7,500 – 10,000 ට වැඩි කිරීමට හැකියාව ලැබී ඇති බවත් එම එක් පරීක්ෂණයකට වැය වන රුපියල් 6,000ක ප්‍රමාණය නිසා දිනක වියදම රුපියල් මිලියන 50 ඉක්මවා තිබෙන බවත් අගමැතිවරයා එහිදී ප්‍රකාශ කළා.

එහිදී, වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරමින් අග්‍රාමාත්‍යවරයා විසින් යෝජනාවන් ඉදිරිපත් කරනු ලැබුවා.

‘දින 14ක රෝග නිවාරණයට ලක් කරන පුද්ගලයින්ගේ ආහාර හා සුභසාධනයට ද විශාල මුදලක් රජය වැය කරනවා. ඒ අතරට මෙම COVID වසංගතය නිසා ආදායම් තත්ත්වය අඩු වීමේ බලපෑම් වලට ලක් වු පවුල් වලට රුපියල්. 5,000/-ක දීමනාවක්ද ලබා දෙනවා. මෙම වියදම් වලට අමතරව එම සේවාවන්වල යෙදෙන රාජ්‍ය සේවකයින්ගේ දීමනා හා අනෙකුත් වියදම් දැරීමටද රජයට සිදු වී තිබෙනවා.

එමෙන්ම, අප රටේ අපනයන, සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍ර වලට මේ වතාවරණය දැඩි අහිතකර බලපෑමක් ඇති කර තිබෙනවා. එමගින්, විදේශ විනියම ලබාදෙන රැකියා හා ජීවනෝපායන්ට, පෞද්ගලික ව්‍යාපාර හා රජයේ ආදායම් වලට මෙන්ම ජනතාවගේ ආගමික හා සමාජ ජීවිතවලට එල්ල කර ඇත්තේ දැඩි පීඩනයක්.

ගරු කතානායකතුමනි,

අපට හිමිව ඇති ආර්ථිකය හා මූල්‍ය තත්ත්වයද ඉතා බරපතලයි. ආදායම් වියදම් පරතරය තුළින් මෙම කතාවට ප්‍රවේශ වුනොත්, 2014 පැවති මගේ රජය ජාතික ආදායමෙන් සියයට පහයි දශම හතකට (5.7) අඩු කර තිබූ අයවැය හිඟය වෙනුවට අපට 2019 දී පැවරුවේ සියයට නමයයි දශම හයක (9.6) අයවැය පරතරයක්. එය 2005 වර්ෂයේ මා රජය භාර ගන්නා විට සියයට 7ක හිඟයටත් වඩා වැඩියි.

2015 වර්ෂය සඳහා මා 2014 දී ඉදිරිපත් කළ අයවැය දිසාව වුනේ 2020 වන විට අයවැය පරතරය සියයට 4 කට අඩු කරගන්නා ගමන් අපේ රට දුප්පත්කම නැති ඉහළ ආදායම් රටක් කිරීමයි. පසුගිය වසර වල අයවැය පරතරය පියවීමේදි දක්නට ලැබූ ප්‍රධාන ලක්ෂණයක් වී තිබුණේ රජය විසින් කර ඇති වියදම් සඳහා වසර ගණනාවක් තුළ සැපයුම්කරුවන් හා ප්‍රතිලාභීන්ට එම මුදල් නොගෙවා තිබීමයි. එම හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 243 වී තිබූ අතර විදේශ ණය වලින් කර තිබූ වියදම් අනුමත ප්‍රතිපාදන ඉක්මවා තිබීම නිසා ගිණුම් ගත නොකරන ලද ප්‍රමාණය රුපියල් බිලියන 212 මේ නිසා 2019 වර්ෂයේදී වාර්තා කර ඇති අයවැය හිඟයද සැබෑ රාජ්‍ය මූල්‍ය තත්ත්වය වසන් කිරීමක් වෙනවා.

රජයේ ආදායම් වියදම් පරතරයෙන් සැඟවූ පොහොර සඳහා රුපියල් බිලියන විසි තුනයි දශම නමයක (23.9) හිඟ මුදල, ඖෂධ මිලදි ගැනීමේදී නොපියවා තිබූ රුපියල් බිලියන තිස් එකයි දශම හතරක් (31.4), ඉදිකිරීම් කර්මාන්තය සඳහා නොගෙවා තිබූ රුපියල් බිලියන 119ක්, වැඩිහිටි පොලී සහනාධාර රුපියල් බිලියන හතලිස් පහයි දශම අටක් (45.8) හා විවිධ අමාත්‍යාංශවල හා දෙපාර්තමේන්තුවල සේවා සැපයීම සඳහා නොගෙවා තිබූ රුපියල් බිලියන විසි දෙකයි දශම එකක් (22.1) ඇතුළත් වෙනවා. මෙය පසුගිය රජය රාජ්‍ය මූලය කළමනාකරණයේදී සිදුකළ ප්‍රධාන වගකීම් පැහැර හැරීමක් ලෙස මා දකිනවා. මුදල් නොගෙවීම නිසා ඉදිකිරීම්කරුවන්, පොහොර හා ඖෂධ සැපයුම්කරුවන්, පොලී සහන මත ජීවත්වන වැඩිහිටියන් මුහුණ දී තිබූ දුෂ්කරතා පසුගාමී ආර්ථිකයක් ඇති කිරීමට දායක වී තිබුණා.

ගරු කතානායකතුමනි,

2014 දී දල දේශීය ජාතික ආදායමෙන් සියයට 70ක්ව පැවති රාජ්‍ය ණය 2019 වන විට සියයට 85 දක්වා වැඩි කර තිබුණේ එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් ණය කළමණාකරනය කිරීමට යැයි සාධාරණීය කළ හම්බන්තොට වරාය දීර්ඝ කාලීන බදු ක්‍රමයක් තුළ විකිණිමටත් අමතරවයි.

එම වරාය සඳහා වසරකට ගෙවීමට තිබූ ණය සේවා ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 90ක් වුවත් මුළු වරායම විකුණා ලබාගත් ඩොලර් මිලියන 1,200ක මුදලින් එම වරායට ගණු ලැබූ විදේශ ණය ප්‍රමාණය ගෙවා තිබුණේද නැහැ.

තවමත් මහා භාණ්ඩාගාරය විසින් චීන එක්සිම් බැංකුවට වාර්ෂිකව එම ණය ගෙවනවා. වරාය විකිණීමෙන් ලබාගත් මුදල යොදාගෙන තිබෙන්නේ එදිනෙදා අයවැය කටයුතු වලට පමණක් බව පෙනී යනවා.

2020 සිට වාර්ෂිකව ගෙවීමට ඇති විදේශ ණය සේවා ප්‍රමාණය ඩොලර් මිලියන 4,200ක් පමණ වෙනවා. විපක්ෂයේ සහ ඔවුන්ට උපදෙස් දෙන දේශීය හා විදේශීය විශේෂඥයින් පුරෝකථනය කළේ රට විශාල ණය උගුලකට පැටලී ණය සේවා පැහැරහරින රටක් වන බවයි.

එම පුරෝකථන වලින් පෙන්වූ අඳුරු චිත්‍රය වෙනුවට අපේ රජය 2020 සඳහා ගෙවීමට තිබූ විදේශ ණය ඇතුළු සියලු ණය ගෙවූ බවද මේ ගරු සභාවට වාර්තා කරන්නේ ඉමහත් සතුටකිනි.

එය ඉටුකර ගැනීමට හැකිවුණේ අනවශ්‍ය ලෙස විදේශ ණය ගැනීම් අඩු කිරිම මෙන්ම ආනයන යම්තාක් දුරකට කළමනාකරණයට ගෙන ඇති උත්සාහය වගේම, ණය භීතිකාව හුදෙක් මේ රටේ සම්පත් විකිණීමට හා නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සාධාරණය කිරීමටත් ගත් උපාය මාර්ගයක් බව අප හොදින්ම වටහාගත් නිසයි.

වසර 5ක කාලය තුළ එකදු විදුලිබල ව්‍යාපෘතියක්, වැව් හා ජලාශ ඉදිකිරීමක්, ජල සම්පාදන ව්‍යාපෘතියක්, දුම්රිය මාර්ගයක්, අධිවේගී මාර්ගයක්, පාලමක්, නාගරික නිවාස ව්‍යාපෘතියක්, වරාය නගරය හෝ ආර්ථික කලාපයක්, ධීවර වරායක් වගේ ආයෝජනයකින් නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීමක් සිදු වී නැහැ. ගම් නගා සිටුවීමට සැලසුම් කළ ගම්පෙරලියෙන් බලසම්පන්න වූ ගමක් දැකගන්න නැහැ. දේශීය ගොවීන් නිපදවන තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස් අපනයන වෙළඳපළට යොමු කිරීම වෙනුවට ඒවා පිටරටින් ගෙන්වා ප්‍රතිඅපනයනයකට ප්‍රවේශ වීමෙන් වැවිලි ක්ෂේත්‍රයටද අහිතකර බලපෑම් ඇති කළා.

ඉහළ මැදි ආදායම් රටක් වෙනුවට ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,000ක මට්ටමක එක තැන පල් වෙමින් පැවතුණා. සියයට 6ක පමණ වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගත් රටේ ආර්ථික වර්ධනය 2015 සිට වර්ෂයෙන් වර්ෂය අඩුවන ප්‍රවණතාවයකට ලක්කර 2019 සියයට දෙකයි දශම තුනකට (2.3) අඩුවී තිබුණා. එය දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනයයි. කලාපයේ අඩුම ආර්ථික වර්ධනයකට අපේ රට පසුගිය වසර 5 තුළ පත්කිරීම කිසිසේත් සාධාරණීයකරණය කළ නොහැකියි. ජනගහනයෙන් සියයට 40කට ආසන්න පිරිසක් සෘජුව හා එයට ආසන්න පිරිසක් ජීවත්වන ග්‍රාමීය ආර්ථිකය ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය නිර්මාණය කළ ආනයන වෙළදාම විසින් බලහීන කර ඇති බව නොරහසක්.

අපනයනය වෙනුවට ආනයනය වැඩිවන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ ප්‍රතිවිපාකය වී ඇත්තේ ඩොලර් බිලියන 8ක පමණ වෙළඳ හිඟයක් තුළ හිරවීමයි. පසුගිය පස් අවුරුදු පාලන කාලය තුළ ගෙන ගිය අසාර්ථක ආර්ථික හා මූල්‍ය කළමනාකරණ වැඩපිළිවෙළ මෙන්ම සැබෑ නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට ආනයන මත රඳාපවතින වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ගත් උත්සාහය මෙම ඛේදනිය තත්වයට හේතුව බව දැන් පිළිගත යුතුව තිබෙනවා.

ගරු කතානායකතුමනි,

2010 විදේශ රැකියා වලින් ඉපයූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4,000 වර්ෂ 2014 වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 7,000ට අප නංවා තිබුණා. එම ක්ෂේත්‍රයේ විදේශ ආදායම 2019 වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,700ක මට්ටමකට අඩු වී තිබුණා. ජාතික ආරක්ෂාව හා බුද්ධි අංශ දුර්වලවීම තුල හිස එසවූ පාස්කු ප්‍රහාරය නිසා දස වසරක් අඛණ්ඩව ප්‍රසාරණය වූ සංචාරක ක්ෂේත්‍රයද කඩා වැටීමට ඉඩ හැරියා. බදු ක්‍රමය සංකීර්ණවීම තුළ ජනතාව පිට අධික බදු බරක් පටවා තිබුණා පමණක් නොව ජාතික ව්‍යාපාර දුර්වල කරන බදු ක්‍රමයක්ද පැවතියා. ණය පොලී අනුපාතය සියයට 14 සිට සියයට17 වැනි ඉහළ අගයකට වැඩිවීමත් විනිමය අනුපාතය සීඝ්‍ර ලෙස කඩා වැටීමත්, තුළ ව්‍යාපාරික පරිසරය අවිනිශ්චිත වී තිබුණා. 2014 ජාතික ආදායමෙන් සියයට තිස්දෙකයි දශම තුනක් (32.3) වූ සමස්ථ ආයෝජනය 2019 වන විට සියයට විසිහතයි දශම හතරක් (27.4) දක්වා අඩු වී 483,000ක පමණ විරැකියාවකට රට පත්වීම අවසාන ප්‍රතිඵලය වීම තුළම අසාර්ථකත්වය මැනවින් පෙනුණා.

ගරු කතානායකතුමනි,

අභියෝග රැසක් මැද වුවත් 2020 වර්ෂය තුළ අප ඉටුකළ කාර්යභාරය ඉතා විශාලයි. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ වසර ගණනාවක් තුළ රැකියා විරහිතව සිටි උපාධිධාරින් 60,000කට අධික පිරිසකගේ රැකියා ප්‍රමාණය විසඳිමයි. එමෙන්ම අපේ රටේ දිළිඳුම පවුල් ලක්ෂයක් ඉලක්ක කරගෙන රැකියාදීමේ වැඩපිළිවෙළ යටතේද මේ වන විට 40,000කට ආසන්න පිරිසකට රැකියා ලබාදී තිබෙනවා. වසර නිමවීමට පෙර ලක්ෂයේ ඉලක්කය සම්පූර්ණ කිරීම අපේ අරමුණයි.

ගරු කතානායකතුමනි,

සියයට 17ක්ව පැවති වැට් (VAT) හා ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) සියයට 8කට අඩු කිරීම, රුපියල් මිලියන 25ක පිරිවැටුම (කලින් මසකට රුපියල් මිලියන 1කට) පහල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වැට් බද්දෙන් නිදහස් කිරීම, කෘෂිකර්ම, වැවිලි වගාවන්, පශු සම්පත්, ගොවිපල හා කටයුතු ආදායම් බද්දෙන් නිදහස් කිරීම, තොරතුරු තාක්ෂණ හා විදේශ රැකියා ඉපයීම් ආදායම් බදු වලින් නිදහස් කළා. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වාර්ෂික පොලී අනුපාත සියයට 15ක පමණ මට්ටමක සිට සියයට 5ක මට්ටමකට අඩුකිරීම නිසා රටේ ණය පොලී පීඩනය අඩු කිරීමට කටයුතු කලා පමණක් නොව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබූ රජයේ හා පෞද්ගලික ව්‍යාපාර සඳහා බැංකු මගින් රුපියල් බිලියන 250ක පමණ ණය මුදල් සැපයනු ලැබුවා. අඛණ්ඩව කඩා වැටෙමින් තිබූ විදේශ විනිමය අනුපාතය රුපියල් 185/-ක මට්ටමක ස්ථාවරව පවත්වා ගැනීමටත් ඩොලර් මිලියන 4,200ක විදේශ ණය සේවාවන් 2020 වසර තුල ගෙවා ණය පැහැර හැරීම් ගනයට රට පත්වීම‍ට ඉඩ නොදීමත් අප විසින් ඉටු කළා.

වී සඳහා කිලෝවකට රුපියල් 50/-ක අවම මිලක් ලබාදීම‍ට සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා ආනයනය නතර කිරීම, වී, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග, අල සහ ළූණු නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා ආකර්ෂණීය සහතික මිලක් ඇති කිරීමට ආනයන බදු කළමනාකරණය කරණු ලැබුවා. මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ කිලෝමීටර 10,000ක ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මාර්ග බාධක ඉවත් කිරීම සඳහා ඉදිවන පාලම් ප්‍රමාණය 10,000ක් වන අතර පාලම් 5,000ක් පමණ අවසන් අදියරට පැමිණ තිබෙනවා.

සැමට ජලය සැපයුම යටතේ පානීය ජල සැපයුම නිවාස 429,000 ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක් ගමකට එක් නිවසක් වැඩසටහන යටතේ ආවරණය වන නිවාස 14,000ක් ඉදි‍ කෙරෙමින් පවතින අතර නාගරික නිවාස 100,000ක් ඉලක්ක කරගත් නගර සංවර්ධන වැඩපිළිවෙළ තුළ ඉදිවන ප්‍රථම නිවාස 20,000ක නිවාස ව්‍යාපෘතින්ද ආරම්භ කර තිබෙනවා.

ගරු කතානායකතුමනි,

ඖෂධ, පොහොර හා ඉදිකිරීම්කරුවන්ට නොගෙවා තිබූ හිඟ මුදල්ද මේ අතුරු සම්මත ගිණුම මගින් ගෙවා දැමු අතර ඒවාට අවශ්‍ය ප්‍රතිපාදනද 2020 විසර්ජන පනතට ඇතුල් වෙනවා. රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වෙනුවට ඒවා ශක්තිමත් කිරීම අප රජයේ දැක්මක්. එම ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වෘත්තිමය අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ඇති අතර ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රාග්ධනය සැපයීම අවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවය ජාතියේ ගුවන් සේවයයි. එය ශක්තිමත් කිරීමට 2013 සිට පස් අවුරුද්දක කාලයක් තුළ ඩොලර් මිලියන 500ක ප්‍රාග්ධනයක් යෙදීමේ වැඩපිළිවෙළ 2015 දී නතර කිරීමෙන් හා එය පෞද්ගලීකරණය කිරීමට ගත් උත්සාහයන් නිසා එය මූල්‍යමය වශයෙන් දුර්වල වී තිබෙනවා. ඒ සඳහා ප්‍රාග්ධනය මධ්‍යකාලීනව ඩොලර් මිලියන 500ක් යෙදවීමට බලාපොරොත්තු වන අතර 2020 වර්ෂයේදී ඩොලර් මිලියන 150ක් ලබා දීමට කටයුතු කරනවා. ඒ අතරම 2020 විසර්ජන කෙටුම්පතේ දක්වා ඇති වියදම් ශීර්ෂ කිහිපයක් සංශෝධනය කරන අතර ඒවා මම සභාගත කරනවා.

එම වියදම් සංශෝධන සමඟ 2020 විසර්ජන කෙටුම්පතේ සඳහන් ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 180කින් වැඩි කිරීමට යෝජනා කරනවා. 2020 සඳහා වන අයවැය සාරාංශය හා ණය ගැනීමේ සීමාව සඳහන් සටහනද මේ සමඟ සභාගත කරනවා. ඒ අතරම රාජ්‍ය මුල්‍ය කලමනාකරණ (වගකීම) පනතෙහි අඩංගු ඇපකර සීමාව සියයට ‍15 දක්වා සංශෝධනය කිරීමටත් යෝජනා කරනවා.

ගරු කතානායකතුමනි,

අප රජයේ අයවැය ප්‍රතිපත්තියේ අන්තර්ගතය වන්නේ පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මග වෙනස් කිරීමයි.අපේ රටේ ආර්ථික ස්වාධීනත්වය ඇති කිරීමට මෙම ගමන් මගෙන් ඉවත්වීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව තිබෙනවා.

දැනට පවත්නා සියයට 10කට ආසන්න ආදායම් වියදම් පරතරය 2025 වන විට සියයට 4කට අඩුකිරීම වගේම සමස්ත ණය සියයට 75කට ඉදිරි වසර 4 තුළ අඩු කිරීම අපගේ රජයේ මූල්‍ය වගකීමයි. අපනයන මෙන්ම අපටම නිපදවා ගත හැකි, ආනයනයන් අවම වන නිෂ්පාදන ආර්ථිකයක් ගැන විශ්වාසය තැබීම ජාතික ප්‍රමුඛතාවක් වී තිබෙනවා. ඇගළුම් හා තේ මත පමණක් රඳාපවතින අපනයන ආර්ථිකය විවිධාංගකරණය නොකර, අපනයනය මෙන් දෙගුණයක් ආනයනය කරමින්, දේශීය සම්පත් හා අමුද්‍රව්‍යයන්ට වටිනාකම් එකතු නොකරන වෙළඳ ආර්ථිකයක් තිරසාර සංවර්ධනයක් ඇති කරන්නේ නැහැ.

කෘෂි, ධීවර හා පශු සම්පත් වලින් ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකාර්මිකරණයක් හා ඒ වටා ගොඩනැගිය යුතු සේවාවන් මතු නොකර ආනයනය මත ගොඩනැගුන පරිභෝජනය හා කාර්මිකරණය තුළින් ජනතා අභිලාෂයන් ඉටුවන සංවර්ධනයක් ඇති වන්නේද නැහැ.

සෘණ ආර්ථිකය ධනාත්මක සියයට 6ක ඉහළ වර්ධන වේගයකට නංවා ගැනීම පමණක් නොව එයට සමගාමීව හා එහි ප්‍රතිපලයක් ලෙස දුප්පත්කම තුරන් කරගත යුතු වෙනවා. එය අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” බව මා මෙම සභාවට මතක් කර දෙනවා.

2020 නොවැම්බර් මස 17 වන දින, මා මෙම ගරුතර සභාවට ඉදිරිපත් කරනු ලබන 2021 අයවැය කතාව මගින් “සෞභා‍ග්‍යයේ දැක්ම තුළින්” අපේ රටේ නවීන ආර්ථිකයක් ඇති කිරීමට යෝජනා ඉදිරිපත් කරනවා.”

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top