(RIVIRA.LK, 2020 නොවැම්බර් 13 පස්වරු 05.41ට)
කොළඹ විශ්වවිද්‍යාලය සතු නිත්‍ය නේවාසිකාගාර 8න් එකක් වන මුත්තයියා පාරේ පිහිටි කාන්තා නේවාසිකාගාරය පිහිටි අක්කර 2.5ක භූමිය නාගරික සංවර්ධන අධිකාරිය මගින් වහාම පවරාගැනීමට ගෙන ඇති තීරණය පිළිබඳ අප්‍රසාදය පළ කරමින් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ ආචාර්ය සංගමය විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වෙත නොවැම්බර් 05 දිනැතිව ලිපියක් යොමු කර තිබෙනවා.
අගමැතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වන්නේ මුත්තයියා පාරේ පිහිටි එම නේවාසිකාගාරය තුළ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යාවන් 550ක් පමණ නේවාසිකව සිටින බවත් ඒ අතර වෙනස් හැකියාවන් සහිත (Differently Abled) ශිෂ්‍යාවන් ද සිටින බවයි. එමෙන්ම, ඔවුන්ගෙන් බහුතරයක් කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවන් බවත් ආචාර්ය සංගමය විසින් එම ලිපියෙන් පෙන්වා දෙනවා.
එම නේවාසිකාගාරය ශ්‍රාස්ත්‍ර පීඨයට පහසුවෙන් ළඟා වීමට හැකි ස්ථානයක පිහිටා තිබීමත්, බාධාවකින් තොරව සිය අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට හැකි වටපිටාවක් සහිත ස්ථානයක් ලෙසත්, විශාල පිරිසකට එකවර පහසුකම් ලබා දිය හැකි ස්ථානයක් ලෙසත් මුත්තයියා නේවාසිකාගාරය සැළකෙන බව ඔවුන් එම ලිපියෙන් අගමැතිවරයා වෙත දන්වා ඇත. එසේම, වෙනස් හැකියාවන් සහිත සිසුන්ට පහසුවෙන් ප්‍රවේශ විය හැකිවන පරිදි අදාළ ගොඩනැගිල්ල මැතකදී නවීකරණය කර ඇති බව ද එම ලිපියේ සඳහන්.
දැනටමත් කොළඹ විශ්වවිද්‍යාලය සතුව ප්‍රමාණවත් නේවාසිකාර පහසුකම් නොමැති බැවින් එය තවදුරටත් පුළුල් කිරීමට කටයුතු කරමින් සිටින බවයි. එසේම, විශ්වවිද්‍යාල සඳහා බඳවාගනු ලබන ශිෂ්‍යයින් ප්‍රමාණය ඉහළ දැමීමට රජය ගෙන ඇති තීරණයටත් මෙය බාධාවක් වනු ඇති බවයි. එමෙන්ම, පවතින වසංගත තත්වය තුළ එහි දැනට සිටින සිසුන්ට විකල්ප ස්ථාන තෝරාගැනීමට හැකියාවක් නොමැති බව ද ආචාර්ය සංගමය පවසනවා.
එබැවින්, මෙම පවරා ගැනීම පිළිබඳව කිසිදු දැනුම් දීමකින් හෝ සාකච්ඡාවකින් තොරව කටයුතු සිදු කිරීමට තීරණය කිරීම හා එම නේවාසිකාගාරය වෙනුවට ශිෂ්‍යාවන් වෙත විකල්ප ස්ථානයක් හෝ ලබා දීමට කටයුතු සිදු නොකිරීම පිළිබඳව තම සංගමය පුදුමයට පත් වන බව ද ඔවුන් සඳහන් කරයි.
මේ හේතුවෙන්, විෂය භාර අමාත්‍යවරයා ලෙස නාගරික සංවර්ධන අධිකාරිය විසින් ගෙන ඇති මෙම තීරණය පිළිබඳව නැවත සලකා බලන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ ආචාර්ය සංගමය විසින් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලා ඇත.

