,

කොවිඩ් වැළඳී මිනිසුන් මහ මඟ මියගොස් ඇති බවට අසත්‍ය පුවත් ප්‍රචාරය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට

(RIVIRA.LK, 2020 නොවැම්බර් 14 පෙරවරු 01.56ට)

කොරෝනා වෛරසය හේතුවෙන් මිනිසුන් මහ මඟ මිය යන බවට සමාජ මාධ්‍යජාලා ඔස්සේ අසත්‍ය ප්‍රචාර කරන පුද්ගලයින් පිළිබඳ නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නොවැම්බර් 13 වන දින සඳහන් කළේ ය.

එමෙන්ම, මෙතෙක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූප හැර වෙනත් කිසිදු තොරතුරකින් ඒ පිළිබඳව තහවුරු වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඒ අවස්ථාවේදී පැවසුවේ ය. දැනට මහ මඟ මිය ගිය කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත්තේ යාචකයෙක් පමණක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ය.

ඒ අනුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ පරිගණක විමර්ශන ඒකකය විසින් සිදු කරන ලද විමර්ශන කටයුතු වලින් අනුව කඩුගන්නාව, එගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සැකකාර පුද්ගලයා ගරාජයක් පවත්වාගෙන යන පුද්ගලයෙක් වන අතර ඔහුට එරෙහිව නිරෝධායන පනත යටතේ සහ අසත්‍ය පුවත් ප්‍රචාරය කිරීම හා මහජනයා අනිසි ලෙස බියට පත් කිරීම යන චෝදනාවන් යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ ය.

Rivira Ads