,
Politics

ආණ්ඩුවේ එකම උපක්‍රමය ගැසට් ගැසීමය – අනුර කුමාර දිසානායක

(RIVIRA.LK, 2020 නොවැම්බර් 15 පස්වරු 03.33ට)

වර්තමානයේ ආර්ථිකය විශාල ව්‍යසනයකට ලක්ව ඇති බවත් ශ්‍රී ලංකාව බිලියන 14,000 ඉක්ම වූ ණය උගුලකට හසුව තිබෙන බවත් ජනතා විමුක්ති පෙරමුණේ නායක, ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සඳහන් කරයි. එමෙන්ම, මෑත කාලයේ දී ආණ්ඩුව විසින් භාණ්ඩ මිල පාලනය සඳහා ගැසට් නිවේදන නිකුත් කිරීම එකම උපක්‍රමය බවට පත් කරගෙන තිබෙන බවත් ඔහු සඳහන් කරයි.

අනුර කුමාර දිසානායක මෙම අදහස් පළ කළේ, 31 වැනි ඉල්මහ විරු සමරුව අමතමින් ය. එමෙන්ම, වර්තමාන ආණ්ඩුව දේශප්‍රේමීත්වය ගොඩනගමින් බලයට පත් වූ ආණ්ඩුවක් වූ නමුත් ස්ථිර වශයෙන්ම SOFA ගිවිසුම සහ MCC අත්සන් කරනවාද නැද්ද යන්න පිළිබඳව රටට ඉදිරිපත් කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළා.

එහිදී අදහස් දක්වමින් අනුර කුමාර දිසානායක, ‘වර්තමාන ආණ්ඩුව දේශප්‍රේමීත්වය පිළිබඳව විශෘල ආන්දෝලනයක් ගොඩ නඟමින් බලයට පත් වූ ආණ්ඩුවක්. හැබැයි, තාමත් කටක් ඇරලා මේ පාලකයන්ට කියන්නට බැරිවෙලා තිබෙනවා SOFA ගිවිසුම අත්සන් කරනවා ද ? නැද්ද ? MCC ගිවිසුම අත්සන් කරනවා ද ? නැද්ද ? කියලා රටට ඉදිරිපත් කළ යුතුයි. නමුත්, තාමත් කරකැවෙමින්, මුනිවත රකිමින් තිබෙන්නේ මෙම ගිවිසුම් අත්සන් කිරීමට දරනා ප්‍රයත්නයක්.’

‘අද ආර්ථිකය විශාල ව්‍යසනයකට පත් වී තිබෙනවා. බිලියන 14,000 ඉක්මවා යන ණය උගුලකට අපේ රට හිර කොට තිබෙනවා. ජනතාවට එදිනෙදා ආහාර ටික සපයා ගන්න බැරි තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

මෑත කාලය ගත්තොත් ආණ්ඩුවක් විසින් භාණ්ඩ මිල පාලනය කිරීමේ එකම උපක්‍රමය බවට ගැසට් ගැසීම පත් කර තිබෙනවා. අවුරුද්දකට කන්න දෙකක් තියෙන රටේ හාල් මිල පාලනය වෙනුවෙන් මේ වෙනකොට ගැසට් 5ක් ගහලා තියෙනවා. හාල් මිල පාලනය කළ හැකි ද ගැසට් නිවේදනයකින්? හැබැයි, ගැසට් එක පොතේ තියෙනවා….වෙළඳපොලේ මිල ඊට වඩා ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම, පොල් වලට ගැසට් එකක් ගහනවා. සැමන් වලට ගැසට් එකක් ගහනවා. සීනි වලට ගැසට් එකක් ගහනවා. පරිප්පු වලට ගැසට් එකක් ගහනවා. මේ ආර්ථිකයේ ඇති වී තිබෙන තත්ත්වය රාජ්‍ය මුද්‍රණ සංස්ථාවේ නිකුත් කර තිබෙන කොලේකින් බේරිය හැකි යැයි අපි කිසිසේත් විශ්වාස කරන්නේ නැහැ.’

‘නමුත්, අඩුම තරමේ පොළොන්නරුවේ ගොවි ජනතාව වෙහෙස මහන්සි වී නෙළන වී අස්වැන්න සාධාරණ මිලකට මිලදී ගෙන පාරිභෝගික ජනතාවට සාධාරණ මිලකට සහල් ලබා ගැනීමටවත් වැඩ පිළිවෙලක් හදන්න බැරි ආණ්ඩුවක් ඔබ හිතනවාද අපේ රටේ ඉතාමත් බරපතල ගැඹූරු ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු සපයාවි කියා.’

‘කොවිඩ් වසංගතය ස්වභාවිකයි. හැබැයි, මේ ව්‍යසනය ස්වභාවික නැහැ. පොදු ප්‍රවාහනය පාවිච්චි කළ හැමදෙනාටම අතිරේක වැය බරක් දරන්න සිදුවෙලා තිබෙනවා. අඩුම තරමේ මෙවැනි වෙලාවකවත් පාලකයින් පොදු ප්‍රවාහනය පාවිච්චි කරන අයගේ වියදමෙන් පංගුවක් දැරීම සඳහා කටයුතු කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවට, බස් ගාස්තු 20%කින් ඉහළ දැමීම සඳහා කටයුතු කළා.’

‘පාසල් වසා දැමීම හරහා අධ්‍යාපනය නිසි පරිදි ලබා ගැනීමට නොහැකියාවට ගොදුරු වී සිටින්නේ කවුද? සාමාන්‍ය අම්මා තාත්තාගේ දරුවෝ. ඔවුන්ට ඔන්ලයින් ඉගෙන ගැනීම සඳහා අවශ්‍ය පහසුකම් නැහැ. ඒ සඳහා අවශ්‍ය වන දුරකථනය, ටැබ් එකක්, එසේත් නැත්නම් ඒ සඳහා අවශ්‍ය වෙන ඩේටා, මුදල් ඒ කිසිවක් නැහැ. ඒ නිසා අධ්‍යාපන අවස්ථාත් අහිමි වී තිබෙන්නේ කාටද? පොදු ජනතාව. ‘

‘ඒ නිසා වසංගතය ස්වභාවික වුනාට ව්‍යසනය ස්වභාවික නැහැ’ යනුවෙන් පැවසුවා.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top