(RIVIRA.LK, 2020 නොවැම්බර් 17 පෙරවරු 11.34ට)
කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල පිහිටි මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් තුළට නොවැම්බර් 15 පස්වරුවේ අධි සුඛෝපභෝගී ජීප් රථයක් කඩා වැදී සිදුවූ අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් එම රථය පැදවූ 20 තරුණිය නොවැම්බර් 16 දින පොලිස් ඇප මත මුදා හැර ඇතැයි පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ අදාළ අනතුරින් කිසිඳු පුද්ගලයෙකු තුවාල ලබා නොමැති වීම මත අදාළ කාන්තාවට ඇප ලබා දුන් බවයි.
Toyota LandCruiser V8 වර්ගයේ අධි සුඛෝපභෝගී රථය පාලනය කර ගැනීමට නොහැකිව නෙළුම් පොකුණ රඟහල අසළ පිහිටා ඇති නන්දා මෝටර්ස් ආයතයේ සුඛෝපභෝගී රථවාහන ප්‍රදර්ශනාගාරය තුළට කඩා වැදීමෙන් සිදු වූ අනතුරෙන් මොටර් රථ ප්‍රදර්ශනාගාරයේ තිබූ සුඛෝපභෝගී මෝටර රථ කිහිපයකට ද ප්‍රදර්ශනාගාරයට ද අලාභ හානි සිදුවී තිබෙනවා. දැනට වාර්තාවන පරිදි එම අලාභය රුපියල් කෝටි 06කට අධිකයි.
මීට පෙර වාර්තා වූයේ අදාළ කාන්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එහෙත් එලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමකින් තොරව පැමිණිලිකාර නන්දා මෝටර්ස් හිමිකාර අනුර මල්ලවආරච්චි සමග ඇති වූ හානි පූර්ණය කිරීමේ එකඟතාවයක් මත පොලිස් ඇප ලබා දී මුදා හැරීමට කුරුඳුවත්ත පොලීසිය කටයුතු කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ තරුණියට රියදුරු බලපත්‍රයක් හෝ නොමැති තොරතුරු වාර්තා වී තිබිය දීත්, පුද්ගල හානියක් නොමැතිවීම සළකා පොලීසිය ඇප ලබා දී තිබුණ ද ඒ සම්බන්ධයෙන් ඉදිරියේ දී නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා. මේ අතර, සැකකාර රෙෂානි රත්නායක නම් 20 හැවිරිදි එම තරුණිය නුගේගොඩ දිශාව භාර පොලිස් අධිකාරිවරයාගේ දියණිය බව ද වාර්තා වේ. අනතුර සිදුවන අවස්ථාවේ රථයේ සිටි එම රථයේ හිමිකරු බව කියන මොහොමඩ් සම්රාස් අහමඩ් නම් තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
2019 පෙබරවාරි මස 24 දින බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මුහුණ දුන් අනතුරට අදාළව ඔහු ගමන් කළ යතුරු පැදියේ ගැටී තිබුණේ ද අදාළ පොලිස් අධිකාරිවරයාගේ පුත්‍රයා වන නවිදු රත්නායක පැදවූ ඩිෆෙන්ඩර් රථයකට වීම ද විශේෂත්වයකි.
කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති, නීතිඥ අජිත් රෝහණ සඳහන් කළේ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක වුවත් පුද්ගල හානි සිදුව නොමැති බැවින් අනතුර සිදුකළ පාර්ශවය අදාළ මෝටර් රථ ප්‍රදර්ශනාගාරයට සිදුවූ අලාභය පියවීමේ එකඟතාවය මත ඉදිරි පරීක්ෂණ අනවශ්‍ය විය හැකි බවයි.
අනතුර සිදුවීමෙන් පසු පොලීසිය සමග සිටින තරුණියකගේ ඡායාරූපයක් සමාජ ජාල තුළ සැරිසරමින් ඒ රථය පැදවූ තරුණිය බවට හැඟවෙන පරිදි යොදා තිබූ සටහන් සම්බන්ධයෙන් එම ඡායාරූපයේ සිටින තරුණිය වන සින්ඩි වික්‍රමනායක නම් තරුණිය ෆේස්බුක් සටහනක් තබා තිබුණා. ඇය එමගින් පවසා තිබුණේ එම අනතුරට තම සම්බන්ධයක් නොමැති බවත් අනතුරට ලක් වූ රථයේ සිටියේ තම මිතුරන් බැවින් එම ස්ථානයට ගිය බවයි.

