Business

2021 අයවැය කථාවට පාර්ලිමේන්තුවේ සියල්ල සූදානම්

(RIVIRA.LK, 2020 නොවැම්බර් 17 පස්වරු 12.13ට)

මුදල් අමාත්‍යවරයා ද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් 2021 විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනිවර කියවීම (අයවැය කථාව) සඳහා ඉදිරිපත් කිරීම සඳහා නොවැම්බර් 17 පස්වරු 1.40ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක නිවේදනය කර සිටී.

2021 මුදල් වර්ෂයට අදාළව වියදම් සඳහා මුදල් වෙන් කිරීම, ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව ණය ලබාගැනිම සඳහා වන විසර්ජන කෙටුම්පත දෙවන වර කියවීම ඉදිරිපත් කෙරෙන අතර මීට අදාළව 2021 විසර්ජන කෙටුම්පත ඔක්තොබර් 06 වැනිදා ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසු එය ඔක්තොබර් 20 වැනිදා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

මෙලෙස ඉදිරිපත් කෙරෙන්නේ මෙරට 75 වැනි අයවැය වාර්තාව වන අතර මුදල් අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ විසින් අයවැය ප්‍රකාශය සිදු කරනු ඇත. රජයේ ආර්ථික ප්‍රතිපත්තියත්, පසුගිය වසර වලදී එහි ක්‍රියාකාරිත්වයත්, රජය අනුගමනය කිරීමට යෝජනා කරන නව ක්‍රියාමාර්ගත්, රටටත්, සත්‍යව‍ශයෙන්ම ලෝකයටත්, ප්‍රකාශ කර සිටීමට මුදල් අමාත්‍යවරයා මෙම අවස්ථාව යොදා ගැනීම සම්ප්‍රදායක් වී ඇත. එම නිසා, බදු ගෙවන සියල්ලන්ටද, වානිජ ව්‍යාපාරවලටද, ආ‍යෝජකයන්ට සහ රජයේ සුබසාධන මත යැපෙන පුද්ගලයින්ටද එය වැදගත් වේ.

2021 මුදල් වර්ෂයට අදාළව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2,678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2,900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් පසු ‍නොවැම්බර් 18 දින සිට 21 දින දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්වේ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්වේ.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව නොවැම්බර් 23 දින සිට දෙසැම්බර් 10 දින දක්වා පැවැත්වේ. දෙසැම්බර් 10 දින පස්වරු 5.00ට අවසන් ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

අගමැතිවරයා විසින් අයවැය කතාව සිදුකරන අවස්ථාවට විදේශ තානාපතිවරු සහ මුදල් අමාත්‍යංශයේ අවසර ලත් නිලධාරීන්ට පමණක් පාර්ලිමේන්තු රැස්වීම සඳහා ආරාධනා කර ඇති අතර මහජන ගැලරිය සහ මාධ්‍ය ගැලරිය තවදුරටත් වසා තැබෙනු ඇත.

අයවැය ප්‍රකාශය සිදු කිරීමෙන් පසු මුදල් අමාත්‍යවරයා විසින් සම්ප්‍රදායානුකූලව පවත්වන තේ පැන් සංග්‍රහය මෙවර පැවැත්වෙන නමුත් එය පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්, විදේශ තානාපතිවරුන් සහ ආරාධිතයින්ට පමණක් සීමා වනු ඇත.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top