(RIVIRA.LK, 2020 නොවැම්බර් 18 පස්වරු 01.40ට)
නිරෝධායනය සඳහා මහනුවර බෝගම්බර පැරණි බන්ධනාගාරයට යොමු කර සිටි රැඳවියන් පස් දෙනෙකු නොවැම්බර් 18 වන බදාදා දින අලුයම බන්ධනාගාරයෙන් පැන යාමට උත්සාහ කිරීමේ දී බන්ධනාගාර නිලධාරින් විසින් ඔවුන් වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. එයින් එක් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
තවත් රැඳවියන් තිදෙනෙකු බන්ධනාගාර තාප්පයෙන් පිටතට පැන තිබෙන අවස්ථාවේදී ඉන් දෙදෙනෙකු තුවාල ලබා අත්අඩංගුවට පත්ව තිබෙනවා. කෙසේ වෙතත්, එක් බන්ධනාගාර රැඳවියෙක් බෝගම්බර බන්ධනාගාරයෙන් පලා ගොස් ඇති බව වාර්තා වේ. තුවාල ලැබූ බන්ධනාගාර රැඳවියන් දෙදෙනා ප්‍රතිකාර මහනුවර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ හෙරොයින් ග්‍රෑම් 500ක් ළඟ තබා ගැනිමට හා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට චෝදනා ලැබූ අනුරාධපුර කටුකැළියාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙක් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළේ. තුවාල ලැබූ අනෙක් පුද්ගලයා බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව මැද තව දුරටත් ප්‍රතිකාර ගනු ලබන බවයි වාර්තා වන්නේ.
පලා යාමට උත්සාහ දැරූ අනෙක් රැඳවියන් දෙදෙනා බන්ධනාගාරය තුළ දී ම අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා. මෙම සිද්ධියෙන් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු ද තුවාල ලබා ඇති අතර ඔවුන් දෙදෙනා ද ප්‍රතිකාර සඳහා මහනුවර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පැවසුවේ, මොවුන් පීසීආර් පරීක්ෂණය සඳහා යොමු කර ඒවායේ ප්‍රතිඵල අනුව ඔවුන්ට වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ රැඳවියන් බවයි. නමුත්, සෞඛ්‍ය උපදෙස් පරිදි ඔවුන් තවදුරටත් දින 14ක කාලයක් සඳහා නිරෝධායනයට යොමු කර තිබූ බව ද බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළා.

