දේශීය පුවත්

අධි සුඛෝපභෝගී ජීප් අනතුර සිදුකළ ලයිෂන් නැති තරුණියට අධිකරණයෙනුත් ඇප

(RIVIRA.LK, 2020 නොවැම්බර් 18 පස්වරු 08.00ට)

කොළඹ, නෙළුම් පොකුණ අසළ පිහිටි මෝටර් රථ ප්‍රදර්ශනාගාරයක් තුළට අධි සුඛෝපභෝගී ජීප් රථයක් කඩා වැදීමෙන් සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර සිටි රෙෂානි රත්නායක නම් 19 හැවිරිදි තරුණිය රුපියල් ලක්ෂ දෙකක ශරිර ඇප මත මුදාහැරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නොවැම්බර් 18 දින නියම කළා.

පොලීසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් සඳහන් කර සිටියේ අනතුරට පත් සුඛෝපභෝගී ජීප් රථය පැදවූ සැකකාරියට රියදුරු බලපත්‍රයක් නොමැති බව විමර්ශනවලදී අනාවරණය වූ බවයි.

මෙහිදී සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායිකාව 19 වන වියේ පසුවන තරුණියක් වන අතර මේ වනවිට පෞද්ගලික විශ්වවිද්‍යාලයක ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උපාධියක් හදාරමින් සිටින බවයි. එසේම මේ රිය පැදවීම පිළිබඳව පුහුණුව ලබමින් සිටින අතර අදාළ අනතුර සිදුවීමේ දී ද ඇය රිය පැදවීමට පුහුණු වෙමින් සිටි බව නීතිඥවරයා කියා සිටියා.

එහිදී එම මෝටර් රථයේ තිරිංග වෙනුවට ඇක්සලේටරය පැගීම හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබෙන බව ද අදාළ රථය සිය මිතුරෙකුට අයත් රථයක් බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියා. එම බරපතල අනතුරෙන් සිදු වී ඇති හානිය පිළිබඳ අදාළ පාර්ශව සමග සාකච්ඡා කර සුදුසු හානි පූර්ණයක් සිදු කිරීමට තම සේවාදායිකාව අපේක්ෂා කරන බව ද නීතිඥවරයා අධිකරණය වෙත දැනුම් දුන්නා.

අනතුර හානි වූ නන්දා මෝටර්ස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ අදාළ සැකකාරිය සිදුකළ රිය අනතුරෙන් තම ගොඩනැගිල්ලට හා ආයතනයට රුපියල් ලක්ෂ දෙසීයක පමණ අලාභයක් සිදුව ඇති බවයි. ඒ සඳහා සුදුසු වන්දියක් තම සේවාදායක ආයතනය අපේක්ෂා කරන බව ද නීතිඥවරයා පවසා සිටියා.

සැකකාරිය පැදවූ Toyota Landcruiser V8 වර්ගයේ රථයේ හිමිකරු වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ අනතුරින් තම සේවාදායකයාගේ මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති (Condemn) බවයි. ඒ අනුව, තම සේවාදායකයාට රුපියල් ලක්ෂ 350 ක පමණ අලාභයක් සිදුව ඇති බව ද දන්වා සිටියා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හිරෝෂි කහින්ගල නියෝග කර සිටියේ සැකකාරිය රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

එම නඩුව නැවතත් 2021 මාර්තු මස 02 දින කැඳවීමට ද නියම කළා.

Rivira FB Group Rivira Youtube
To Top