(RIVIRA.LK, 2020 නොවැම්බර් 21 පස්වරු 02.42ට)
2021 අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වන දින පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතයි. මේ අතර, නොවැම්බර් 21 වන දින අයවැය විවාදය ආරම්භ කිරීමට පෙර ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න විමසීම සම්බන්ධයෙන් ගැටලුවක් මතු වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භය උණුසුම් මුහුණුවරක් ගත්තා.
එහිදී, කොවිඩ් 19 වෛරසය මැඩපවත් වීම සඳහා සිදු කරන ක්ෂණික ප්‍රතිදේහජනක එන්නත හා අනෙකුත් එන්නත් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් විපක්ෂ නායකවරයා විසින් ඉදිරිපත් කිරීමට ගිය අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවූ අතර අදාළ ප්‍රශ්නාවලිය ප්‍රශ්න 8ක් පමණක් ඇසීමට සීමා කර තිබීම පිළිබඳ විපක්ෂ මන්ත්‍රීවරු දිගින් දිගටම කතානායකවරයාගෙන් විමසා සිටියා.
කතානායකවරයා සඳහන් කළේ, අදාළ ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තුවේ අවස්ථා ගණනාවක දී විපක්ෂය විසින් ප්‍රශ්න විමසා ඇති බවත් එම ප්‍රශ්නයන් සඳහා සෞඛ්‍ය අමාත්‍යවරිය පවිත්‍රා වන්නිආරච්චි හා රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් පිළිතුරු ලබා දී තිබෙන බවත්ය.
නමුත් විපක්ෂය විසින් සඳහන් කළේ, ඔවුන් අදාළ ප්‍රශ්න පිළිබඳව ප්‍රශ්න ඉදිරිපත් කර නොමැති බවයි. එහිදි පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ අතර පසුව සභා නායක දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ කථානායකවරයාගේ තීන්දුවට ගරු කළ යුතු බවත් එය අවසන් තීන්දුව බවත්ය.
එම අවස්ථාවේ දී සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර සඳහන් කළේ, “තමුන්නාන්සේට ඕන තීන්දු දෙන්න බෑ. කරුණාකර පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන්න. පාර්ලිමේන්තුවේ රීති තියෙනවා. ඔබතුමාට ඕන විදියට කටයුතු කරන්න බෑ. මේකේ ස්ථාවර නියෝග තියෙනවා. ඔබතුමා නාමල් රාජපක්ෂ කියන විදියට ඔබතුමා වැඩකරන්නේ. ඔබතුමාගේ ප්‍රතිරූපයට මේක හානියක්” යැයි පැවසුවා.
එයට පිළිතුරු දෙමින් කතානායකවරයා “මම තීන්දුවක් දීලා තියෙනවා. ඒක වෙනස් කරන්නේ නෑ. කරුණාකර සභාවේ කටයුතු ඉදිරියට ගෙනයන්න.” යැයි පැවසුවා.

