දේශීය පුවත්

රාමඤ්ඤ නිකායේ මහනායක ධූරයට මකුලෑවේ විමල අනුනායක හිමියන් පත් වෙයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 22 පස්වරු 07.01ට)

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක ධූරයට විද්‍යාවාස පිරිවෙන් විහාරාධිපති මකුලෑවේ විමල නාහිමිපාණන් තේරී පත්වූ බව එම නිකායේ මහා ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන නාහිමියෝ නොවැම්බර් 22 වන දින පෙරවරුවේ පැවති එම නිකායේ විශේෂ කාරක සංඝ සභා රැස්වීමේ දී ප‍්‍රකාශයට පත් කරනු ලැබූහ.

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ, ගල්ගමුව මකුලෑව ප්‍රදේශයේ 1948 අගෝස්තු මස 25 වන දින උපත ලැබූ විමල නාහිමිපාණන් 1959 මිණිඔලුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයට පැමිණ, 1960 මාර්තු මස 24 වන දින ලෝලුවාගොඩ මහේන්ද්‍රරාමාධිපතිව වැඩ විසූ දිසාපාලක වේවැල්දෙණියේ නන්දසිරි මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා රාජකීය පණ්ඩිත නුගදෙණියේ ධම්මානන්ද හිමිගේ ආචාර්යත්වයෙන් පැවිදි වුහ.

1974 වසරේ දී ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පරියත්ති පාලක සභාවෙන් ත්‍රිපිටකාචාර්ය උපාධිය ද, 1976 දී බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ ත්‍රිපිටකවේදී උපාධිය ද, 1976 දී පරියන්ති පාලක සභාවෙන් ත්‍රිපිටක විශාරද ගෞරව උපාධිය ද ලබාගත් උන්වහන්සේ‍, කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙනෙහි සුමංගල ගුණානුස්මරණ සභාව මඟින් පැවැත් වු සද්ධම්මාචරිය සහ විනයාචරිය විභාගවලින් සමත්ව උපාධි හිමිකර ගෙන කැලණිය සරසවියට ඇතුළත් විය.

පසුව 1982 දී ගෞරව ශ්‍රාස්ත්‍රවේදී උපාධිය ද , 1990 දී එම සරසවියේ දී පශ්චාත් උපාධි ආයතනයෙන් ශ්‍රාස්ත්‍රපති උපාධියද ලබා ගත්හ.1969 ජුලි 22 වන දා කොළඹ, තොටලග කල්‍යාණී නදී උදකුක්බේප සීමාමාලකයේ දී උපසම්පදා ලැබූහ.

72 හැවිරිදි වියේ පසුවන අභිනව මහනාහිමිපාණන් වහන්සේගේ පැවිදි දිවියට වසර 60ක් පිරී තිබේ. උන්වහන්සේ 2012 සිට වසර අටක් තිස්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අධිකරණ නායක පදවිය දැරූ අතර පසුගියදා සම්මානනීය අනුනායක පදවියට පත්කරනු ලැබ සිටියහ.

අභිනවයෙන් මහනායක ධූරයට පත් වන විමල නා හිමියන් රාමඤ්ඤ නිකායේ 14 වන මහ නායක හිමිපාණන් වන්නේ ය.

Rivira FB Group Rivira Youtube
To Top