(RIVIRA.LK, 2020 නොවැම්බර් 22 පස්වරු 06.00ට)
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ නිලධාරීන් කිහිප දෙනෙකු හේතුවෙන් අරලියගහ මන්දිරය හුදකලා කර ඇති බවට ජාතික පුවත්පතක් පළ කර තිබූ පුවත හා ඒ මත පදනම්ව සමාජ ජාල තුළ පළ කෙරී තිබූ සටහන් හා පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා පවසනවා.
නොවැම්බර් 22 දින නිකුත් කළ නිවේදනයෙන් අගමැති කාර්යාලය පවසන්නේ අරලියගහ මන්දිරයේ හෝ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ කිසිඳු සේවකයෙකු හට කොවිඩ්-19 වෛරසය වැළඳී නැති බවයි.
කොවිඩ්-19 තත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරි කටයුතු කිසිඳු බාධාවකින් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පවත්වාගෙන යනු ලබන බව ද එම නිවේදනයේ සඳහන්.
එසේම, බැසිල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යනු ලබන කාර්ය සාධක බලකායේ කටයුතු ද කිසිඳු බාධාවකින් තොරව අරලියගහ මන්දිරය පරිශ්‍රයේ සිට පවත්වාගෙන යනු ලබන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
කොවිඩ්-19 ආසාදිත පුද්ගලයින් හමුවී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකින් බවත් ලේකම් කාර්යාලය හා අරලිගහ මන්දිරයේ රාජකාරියේ නියුත් ආරක්ෂක අංශ පෙර පරිදි රාජකාරි සිදුකරමින් සිටින බවත් එම නිවේදනයෙන් අගමැති කාර්යාලය අවධාරණය කර සිටී.

