,
Covid-19

6 -13 ශ්‍රේණි සිසුන් සඳහා හෙට සිට පාසල් 5,100 කට ආසන්න සංඛ්‍යාවක් විවෘත වෙයි

(RIVIRA.LK, 2020 නොවැම්බර් 22 පස්වරු 10.11ට)

කොවිඩ්-19 වෛරසයේ ව්‍යාප්තියත් සමග වසා දැමුණු පාසල් නොවැම්බර් 23 සඳුදා සිට අර්ධ වශයෙන් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව, 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා වූ සිසුන් සඳහා මෙලෙස පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර බස්නාහිර පළාත සහ හුදෙකලා කළ ප්‍රදේශ ඇතුළු ප්‍රදේශ කිහිපයක හැර අනෙකුත් පාසල් විවෘත කෙරෙනු ඇත. නමුත් මේ වනවිට එම තීරණය ආන්දෝලනාත්මක තීරණයක් බවට පත්ව තිබෙනවා. ඒ පාර්ශව කිහිපයක් ඒ සම්බන්ධයෙන් විවිධ මත පළ කිරීමත් සමගයි.

කෙසේ වෙතත්, මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා ඒ් පිළිබඳව දීර්ග ලෙස කරුණු ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කළේ වත්මන් තත්වය අනුව පාසල් 5,100කට ආසන්න ප්‍රමාණයක් 23 සඳුදා සිට විවෘත වන බවයි.

දිවයිනේ 10,165 ක් වන සියලු රජයේ පාසල් අතුරින්, බස්නාහිර පළාත සහ හුදෙකලා කරන ලද පොලිස් බල ප්‍රදේශවල පිහිටි පාසල් හැර 6 සිට 13 ශ්‍රේණි දක්වා පන්ති පැවැත්වෙන පාසල් 5,233ක් පවතී. රට තුළ දැනට පවතින වාතාවරණය හමුවේ අවදානම ඉහළ ගොස් ඇති නැගෙනහිර පළාතේ පාසල් පහක් සහ වයඹ පළාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් ද, සබරගමුවේ හා සෙසු ප්‍රදේශවල පාසල් කිහිපයක් ද හැරුණු කොට පාසල් 5,100 කට ආසන්න සංඛ්‍යාවක් සඳුදා (23) සිට 6 – 13 ශ්‍රේණි දක්වා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා සඳහන් කරයි.

සියලු පළාත්, කලාප සහ කොට්ඨාශ අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ විදුහල්පතිවරුන් වෙත සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේවන විටත් නිකුත් කර ඇති 15/2020 දරන චක්‍රලේඛය හා මාර්ගෝපදේශ සංග්‍රහය අනුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට අදාල සියලු පාර්ශව සහාය කරගන්නා ලෙස උපදෙස් ලබාදී තිබේ.

විශේෂයෙන්ම එහි සඳහන් ආකාරයට සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටුව මූලික කරගනිමින් වඩාත් සුදුසු තීරණ ක්‍රියාවට නංවමින් පාසල් පැවැත්වීමට පියවර ගන්නා ලෙස ද අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

රට තුළ පවතින වාතාවරණය හමුවේ පාසල් ආරම්භ කිරීමට ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විසින් විවේචන එල්ල කළද, මෙය දරුවන් වෙනුවෙන්ම, ඔවුන්ගේ මගහැරෙන අධ්‍යාපනය නැවත ලබා දීමේ අරමුණින් ගත් තීරණයක් බව ද, සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරමින් මේ සඳහා සහාය වීම සියලු පාර්ශ්ව වෙතින් අපේක්ෂා කරන බව ද අධ්‍යපන ලේකම්වරයා පැහැදිලි කරයි

මෙරට පාසල් අතරින් සිසුන් සංඛ්‍යාව 500ට අඩු පාසල් ප්‍රතිශතය 77.3% කි. සිසුන් සංඛ්‍යාව 501-1000 අතර පවත්නා පාසල් ප්‍රතිශතය 13.6% කි. ඒ අනුව සමස්ත පාසල් සංඛ්‍යාවෙන් සියයට අනූ එකක්ම 1000ට අඩු සිසුන් සිටින පාසල් බව පෙන්වා දුන් ලේකම්වරයා, දුරස්ථභාවය ඇතුළු අනිකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාසල් පැවැත්වීම ප්‍රායෝගිකව අසීරු නොවන බවද පෙන්වා දුන්නේ ය.

ප්‍රාථමික ශ්‍රේණි දරුවන් වෙනුවෙන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධවද ඉදිරියේදී තීරණයක් ගන්නා බව සදහන් කළ අධ්‍යාපන ලේකම්වරයා, එක් එක් පාසල් වෙත ශිෂ්‍ය සංඛ්‍යාව පාදක කරගනිමින් සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපාදන ලබාදීමට ද පියවර ගෙන ඇති බව පැවසීය.

ඒ අනුව, රුපියල් බිලියන 105.812 ක් පාසල් වෙත ලබාදීමට දැනටමත් පියවර ගෙන ඇති බවද, පිරිවෙන් සහ විද්‍යාපීඨ ඇතුළු අනෙකුත් අධ්‍යාපන ආයතන වෙත මීට පෙර ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කර ඇති බව ද සඳහන් කළේය. සිසුන් 100ට අඩු පාසල් සඳහා රුපියල් 8,000 /ක මූල්‍ය ප්‍රතිපාදන ද, 200 ට අඩු පාසල් සඳහා රුපියල් 10,000/ බැගින් ද, 200ට වැඩි පාසල් සඳහා රුපියල් 12,000/ බැගින්ද මේ යටතේ ප්‍රදානය කෙරේ.

දරුවන් වෙනුවෙන් ගනු ලැබූ මෙම තීරණය වඩාත් යහපත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් පුරවැසි වගකීමක් ලෙස සලකා සියලු පාර්ශ්ව පූර්ණ සහාය පළ කරනු ඇතැයි අපේක්ෂා කරන බවද අධ්‍යාපන ලේකම් වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීමට අදාළ මාර්ගෝපදේශ ඇතුළත් චක්‍ර ලේඛය මෙතැනින්.

Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top