කොවිඩ්-19

කොරෝනා මෘත දේහ දිගටම ආදාහනය කරන්න තීරණය කළා ද? ඇත්ත මෙන්න

(RIVIRA.LK, 2020 නොවැම්බර් 26 පස්වරු 02.09ට)

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී‍ම හේතුවෙන් මරණයට පත්වන පුද්ගලයින් මෘත දේහයන් සෞඛ්‍යාරක්ෂිතව බැහැර කිරීම සඳහා මේ වනවිට ක්‍රියාත්මක වන ගැසට් පත්‍රය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසනවා. ඒ මෘත දේහයන් බැහැර කිරී‍මේ ක්‍රම අධ්‍යනය කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව සිය අවසන් වාර්තාව ඉදිරිපත් කර තෙක් ආදාහනය කිරීම දිගටම සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයෙන් කළ ඉල්ලීීීීීමක් අනුවයි.

කෙසේ වෙතත්, මීට අදාළ තාක්ෂණික කමිටුවේ ඒකමතික මුල් නිර්දේශය වූයේ අදාළ මෘත දේහයන් ආදාහනය කළ යුතු බවයි. ඉන්පසු මුස්ලිම් ජනතාව සිය ආගමික වතාවත් ඉටු කිරීම අනිවාර්ය බව පෙන්වා දෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානය ලබා දී ඇති උපදෙස් මාලාවේ භූමදානය ඇති බැවින් භූමදානය කිරීමට අවසර දෙන ලෙස අධිකරණ අමාත්‍ය අලි සබ්රි හරහා රජයෙන් ඉල්ලීම් කර තිබුණි. ඒ අනුව, සෞඛ්‍ය අමාත්‍යංශය ද මේ වනවිට ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර භූමදානය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක් ද පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් භූමදානය කිරීම හෝ ආදාහනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය තහවුරු කළා. එම අමාත්‍යංශය පවසන්නේ අදාළ කමිටුවේ නිර්දේශය ලැබුණු පසු ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයි.

කෙසේ වෙතත්, මීට පෙර ආදාහනය කළ යුතු බවට තීරණය ඉදිරිපත් කළ තාක්ෂණික කමිටුවේ සාමාජිකා, මහචාර්ය මෙත්තිකා විතානගේ ඇතුළු විෂයේ ප්‍රවීණයින් පෙන්වා දෙන්නේ කොරෝනා සිරුරු බැහැර කිරීමට ශ්‍රී ලංකාව තුළ ඇති ආරක්ෂිතම ක්‍රමවේදය වන්නේ ආදාහනය කිරීම බවයි. ශ්‍රී ලංකාවේ භූගත ජලය එතරම් ගැඹුරක නොමැති වීම සහ විශේෂයෙන් වෙනත් රටවලට වඩා මෙරට ජනතාව වැඩි වශයෙන් ළිං වතුර පානීය ජලය ලෙස භාවිතා කිරීම හේතුවෙන් භූමදානය කිසිසේත් නොගැලපෙන බව මේ වනවිටත් පෙන්වා දී ඇත.

එසේම, ගොවිතැන ද මූලික ජීවනෝපාය කරගත් රටේ වියලි කලාපය තුළ භූමදානය කිරීම දැඩි අවදානමක් ඇති ක්‍රියාවක් බව ඔවුන්ගේ අදහසයි. කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය හෝ වෙනත් කිසිඳු ආයතනයක් විසින් භූමදානය කිරීමෙන් හානියක් සිදුනොවන බව විද්‍යාත්මකව තහවුරු කර නොමැත. අවම වශයෙන් එමගින් වෛරසය පැතිරීමක් නොවන බව පර්යේෂණයකින් හෝ තහවුරු කර නොමැති වීම ද විශේෂත්වයකි.

Rivira FB Group Rivira Youtube
To Top