අධ්‍යාපනය

සාමාන්‍යපෙළ විභාගය පැවැත්වීම ගැන තීරණය ඉදිරි දින 10 තුළ

(RIVIRA.LK, 2020 නොවැම්බර් 26 පස්වරු 06.39ට)

සාමාන්‍ය පෙළ පොදු සහතික පත්‍ර විභාගය ජනවාරි 18 වැනි දින පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරි දින 10 තුළ තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් සඳහන් කරයි. අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ නොවැම්බර් 26 වැනි දින පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් ය.

තෙවැනි පාසල් වාරය සඳහා පාසල් විවෘත කර අදට දින 03ක් ගත වී ඇති බවත් පාසල් ආරම්භ කළ පළමු දිනයේ සිසුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 33%ක් බවත්,නොවැම්බර් 24 වන දා 44%ක් සහ 25 වන දින‍ එය 51 % ක් දක්වා වර්ධනය වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

මෙවර උසස් පෙළ විභාගය පැවැත්වීමේදීද මෙම අභියෝගයට මුහුණ දුන් බවද එහෙත් දෙවතාවක් ප්‍රමාද වූ උසස් පෙළ විභාගය බාධක හමුවේ වුවද පැවැත්වීම සම්බන්ධයෙන් අද එම දෙමව්පියන්ගේ ප්‍රශංසාව හිමි වී ඇතැයි සඳහන් කළේ. 05 වසර ශිෂ්‍යත්ව විභාගය පවත්වා දින 33 පසු එහි ප්‍රථිඵල නිකුත් කිරීමට හැකි වූ බවද අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

විවේචනයන්ට බියේ කිසිවක් නොකර සිටීම ඊට විසඳුමක් නොවන බව පැවසූ අමාත්‍යවරයා දිගින් දිගටම පාසල් වසා තැබීම යනු සිසුන්ගේ ජීවිත වසා තැබීමක් බව පැවසීය. පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් දෙමාපියන්ගේද දැඩි ඉල්ලීමක් පැවති බවද දරුවාගේ ආරක්ෂාව , මෙන්ම දරුවාගේ ජීවිතය යන තීරණාත්මක සාධක සළකා ඒ අනුව මෙම තීරණය ගත් බවත් එසේ නොමැතිව වගකීම් රහිතව ගත් තීරණයක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍යවරයා එහිදී අවධාරණය කළා.

ඒ අනුව, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට තමා පෞද්ගලිකවම කතා කළ බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රය , විදුහල්පතිවරු ඇතුළු සෑම දෙනා සමඟම සාකච්ඡා කර ඒ ඒ පළාත් වල තත්ත්වය අධ්‍යනය කර පාසල් විවෘත කිරීමේ තීරණයට එළැඹි බවත් සඳහන් කළේය.

සින්ක් බේසම්, විෂබීජ නාශක ද්‍රව්‍යය ආදී ද්‍රව්‍ය පාසල් වලට ලබා දුන් බවත් ඊට අමතරව පාසල් වල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේදී යම් යම් අඩුපාඩු ඇත්නම් ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය මුදල් ගෙවීම් සම්බන්ධයෙන් පූර්ණ අවසරය ලබා දී ඇති බවද අමාත්‍යවරයා කීය.

Rivira FB Group Rivira Youtube
To Top